" හරි. කියන්න්කො බලන්න... "
" හිතන්නකෝ ඔයා මුලින් ම මාව දැකපු දවස... එදා මොනව ද ඔයාට හිතුණේ කියලා මම අනුමාන කරපු විදිහ මම කියන්නම්. "
මම එම අවස්ථාව මතකයට නඟා ගැනීමට උත්සහ කළෙමි. එය සිහිවෙත් ම මා හට සිනහ පහළ විය.
" මම දැන් ඔයා විදිහට හිතන්න ගන්නවා... ඔන්න මම හොඳට නිදාගෙන ඉන්නවා. එකපාරට ම මට තේරෙනවා කවුරුහරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ. මම ඇහැරලා බලද්දි කවදාවත් දැකලා නැති කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා. කලින් දවසේ වුණ දේවල් මතක් වෙද්දි මම නිදාගෙන ඉද්දි මගේ දිහා බලාගෙන හිටපු කෙනා දිහා මට ඇතිවෙන්නේ භයක්නේ....ඉතින් මොළය ඒ භයට ප්රමුඛතාව දුන්න නිසා ම එක පාරට හිටගන්න ගියපු මට අමතක වෙනවා මම හිටියේ පැදුරක් ඇඟ වටේ ඔතාගෙන කියලා... "
ඇය උපහාසාත්මක සිනහවක් මුවග රඳවාගෙන පැවසුවා ය. මම ඇයට ඔරවා අනෙක් පස බැළුව ද එම අවස්ථාවේ මගේ සිතතුළ උපන් සියළු ම හැඟීම් ඇය කියවා තිබිණි.
" ඊට පස්සෙ මම දකිනවා වැටෙන්න ගියපු මාව අල්ලගත්තේ මගේ වයසෙ ම වගේ කෙල්ලෙක් කියලා. ටවල් එකක් විතරක් ඇඳන් හිටපු, බෝයිස් ස්කූල් එකකට යන නිසා කෙල්ලෙක් එක්ක හරියකට කතාවත් කරලා නැති මට ඒ වෙලාවේ පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් ඇතිවෙනවා... මට ඒ බව පෙන්නන්න ඕනි නැති නිසා ම මම බොරු කේන්තියක් අරගන්නවා. ලැජ්ජාව වහගන්න තියන හොඳ ම ක්රමය කේන්තිය කියන පණිවිඩය මොළය ඔයාට දෙනවා...ඉතින් ඒ වෙලාවෙ ඒ මගේ හිත කියවන ඒ කෙල්ල ඒක දැනගෙන මගේ කේන්තිය ගනන් ගන්නෙවත් නැතුව නො සළකා හරිනවා... "
මම නැවත වරක් ඇය හා උරණ වීමි. මම සිතනා සියල්ල දැන දැනත් එසේ සිදුකිරීම නිසා ම මට මා පිළිබඳව ම කෝපයක් ඇති විය.
" මාව හරි ම මෝඩ විදිහට පේන්න ඇති. "