මම මහත් අසරණ ලෙස බලා සිටියේ වෙනත් කිරීමට යමක් නො මැතිවයි. අවට සිටියවුන් සාහසික බැළුම් මා වෙත හෙළුවේ ඔවුන් එය අපේක්ෂා කළාක් මෙනි.
" මහ ලොකු ආරක්ෂක නිළධාරිණිය! අන්තිමට මාවත් දාලා ගියා... මම අනිවාරෙන් මේ ගැන වාර්ථා කරනවා... "
මම සිතින් සිතුව ද මුවින් කිසිවක් නො කීමි. මම ඇත්තවශයෙන් ම සිටියේ බෙහෙවින් ම කනස්සල්ලට පත්ව ය. ඇය මෙවන් ක්‍රියාවක් සිදුකරනු ඇතැයි සිහිනෙනුදු මා සිතුවේ නැත. කිසිවෙකුත් පමණට වඩා විශ්වාස නො කරන්නැයි පවසන්නේ ඒ නිසා බව ඒ මොහොතේ දී මා හට අවබෝධ වුවත් ඒ වන විට මම ප්‍රමාද වැඩි විය. විශේෂයෙන් ම ඇය වන් තැනැත්තියක මෙසේ සිදුකරනු ඇතැයි කිසිවෙකුවත් නො සිතනු ඇත. අවාසනාවකට මෙන් ඇයට මෙන් මා හට සිත් කියවීමට හැකියාවක් ද නො වීය. ඇරත් ඇගේ වීදුරු දෑස නම් කිසිවෙකුටත් කියවිය නො හැක.
ඇතැම් විට ඇය මොවුන්ගේ ම කෙනෙකු විය හැක.නැතහොත් මොවුන්ගේ අල්ලස්වලට යටත් වී මා පාවා දුන්නා ද විය හැක. වර්ථමාන සමාජය යැපෙන්නේ සම්පූර්ණයෙන් ම පාහේ මුදල් මත ය. ඇය ද එසේ වූවෙකු විය හැක.නමුත් එසේ නම් මාව සෑම විට ම බේරා ගත්තේ මන් ද... මා තුළ මේ වන විට වූයේ බියත් ශෝකයත් මිශ්‍ර වූ හැඟීම් ගොන්නකි.
" මූව අරන් යමු... ඔය දෙන්නා... ගිහින් අරකි ව හොයා ගන්නවා... ඒකිත් මෙතන වෙන හැම දෙයක් ම දැක්කානේ!!! "
ඔහු දෙදෙනෙකුට ඇඟිල්ල දිගු කර අණ කළේ ය. ඔවුන් නිසැක ව ම දිව්‍යා ව සොයා ගනු ඇත. ඔහු දැක්වූ මිනිස්සු දෙදෙනා ඒ මොහොතේ ම පිට ව ගියේ තවත් පමා නො වෙමිනි.
ඒ අතරතුර මා දෙපස උන් මිනිසුන් දෙදෙනා සූදානම් වූයේ මා ඔසවාගෙන යාමටයි. නමුත් මම දඟලමින් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදීමට උත්සහ දරමින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියෙමි.
" බිමින් තියනවා මාව!!! මට ඇවිදින්න පුළුවන්... මට කකුල් දෙකක් තියනවා!!!! "