ඒ විසල් හස්තියා සුවපහසු අයුරෙන් බිම වැතිර ගත්තේ තවත් බොහෝ වේලාවකට නැඟී නො සිටින අයුරෙනි. එසේ ම ඒ අයුරෙන් සිටිය ද ඌ අවට සිදුවන සියල්ලක් ම කෙරෙහි අවධානයෙන් පසුවන බව නම් පැහැදිලි විය.
" ඔයා හිතන්නේ... ඌ තව කොච්ච්කර වෙලාවක් මෙහෙම ඉඳියි කියල ද? "
මම ඒකාකාරී බව ඉවසාගත නො හැකි ව දිව්‍යාගෙන් විමසා සිටියෙමි. ඒ වන විටත් එක ම ඉරියව්වෙන් වෘක්ෂය මත හිඳ සියීම නිසාවෙන් මගේ දෑත් දෙපා හිරිවැටී තිබිණි. මම ඉරියව්ව වෙනස් කිරීමට උත්සහ දරනා සෑම අවස්ථාවක දී ම හස්තියාගේ මෙන් ම දිව්‍යාගේ ද භයංකාර බැළුම්වලින් නම් ගැළවීමක් නො වීය.
" මම නම් හිතන්නේ අපි ගහෙන් බහිනකම්ම ඌ මෙතන ඉඳීවි. "
ඇයගේ කතාවෙන් මම කම්පනයට පත්වීමි. එසේ නම් ඇය මේ හස්තියාගෙත් සිත කියවා ඇත් ද...
" ඇයි ඒ? කියන්න නම් එපා ඔයා මේ ඇතාගේත් හිත කියෙව්වා කියලා නම්. "
ඇය මා පවසන්නේ කුමක්දැයි හරිහැරි වටහා ගත නො හැකි ව මෙන් මා දෙස බැලූයේ පිළිතුරු ලබා ගැනුමට මෙනි.
" මොකක්! "
මා මින් පෙර දී මාගේ සිත තුළ වූ දෙය ඇයට පවසා නැති බව සිහිවූයේ එවිටයි.
" අහා... ඒක මේ... ඔයා ඉතින් හැම වෙලාවෙ ම මම හිතන් ඉන්න එක හිත කියෙව්වා වගේ හරියට ම කියනවානේ... ඒක නිසා තමයි මම ඇහුවේ ඒවගේ මේ ඇතාගෙත් හිට කියෙව්ව ද කියලා. "
දිව්‍යා හට එක් වර ම බකස් ගා සිනහ ගියේ ය. හස්තියාගේ නො සන්සුන් කුංචනාද නො සළකා හැරි ඇය උස් හඬින් සිනහ වූවා ය.
" ඔයා නම් හරි ම බුද්ධිමත් ශිවායි... මම නම් කීයටවත් හිතුවෙ නෑ ඔයා මේ තරම් බුද්ධිමත් කියලා... "