මම හිස ඔසවා බැලූ කළ මා හට ඔහු දැක ගැනීමට හැකි විය. සුදු පැහැ අත් දිග කමිසයකින් හා තනි සුදු පැහැ කලිසමකින් සැරසී සිටි ඔහු එතරම් උස් වූයේ නැත. ඔහුගේ විශාල උදරය ඉදිරියට නෙරා විත් තිබූයේ යෝධ මැඩියෙකුගේ පරිද්දෙනි. එම උදරය සිරකරගෙන සිටීම සඳහා කමිස බොත්තම් බලවත් උත්සාහයක නිරත වූහ. ඔහුගේ මුහුණ ද මැඩියෙකුගේ තරමට ම අප්‍රසන්න වූයේ ය. ඒ පැමිණ සිටියේ එම නීතිවිරෝධී කුළුබඩු ව්‍යාපාරයේ අයිතිකරු ය. මා වැනි කුඩා ළමයෙකු නැරඹීම සඳහා ඔහු පැමිණි හේතුව නම් මා හට සිතාගත හැකිවූයේ නැත.
" කෝ ළමයා! "
ඔහු පැමිණි මොහොතේ ම එහි වූ පුද්ගලයෙකුගෙන් තර්ජනය කර විමසුවේ ය. එම තැනැත්තා බියෙන් පසෙකට විසි වී ගියේ ය. අනතුරු ව ඔහු මා සිටි දිශාවට අත දිගු කර පෙන්වූයේ ය.
ඔහු ඔහුගේ කෙටි පාද වේගයෙන් තබමින් මා දෙසට පැමිණියේ ය. ඉන්පසු මා ආසන්නයට ම පැමිණ මගේ මුහුණ ඉදිරියෙන් ම සිටගත්තේ යෝධ මැඩියෙකු පරිද්දෙනි. මම මගේ මුහුණ අනෙක් පසට හරවා ගතිමි.
" බලනවා මගේ දිහා... "
මම එක එල්ලයේ ඔහු දෙස බැළුවෙමි. ඔහු මාගේ දුඹුරු දෑස් තුළට ම එබීගෙන සිටියේ ය. ඔහුට තිබූයේ අඳුරු බොර දෑසකි. එය රුධිරය පිරී භයානක ලෙස රත් පැහැ ගැන් වී තිබිණි. මම එක්වර ම එක එල්ලයේ ඔහු දෙස බැලූ හෙයින් ඔහු එක්වර ම තිගැස්සී ගියේ ය. ඒ ඔහු එය බලාපොරොත්තු නො වූ ලෙසිනි.
" දැන් අහගන්නවා හොඳට... මම ක්‍යන දේ තමුන් කළේ නැත්නම් තමුන්ට මැරෙන්න පුළුවන්!!! "
ඔහු මාගේ මුහුණ ඉදිරියේ සිටිමින් මා හට තර්ජනය කරන්නට වූයේ ය. මම අනෙක් පස බැලා ගතිමි. ඔහුගේ මුහුණ දෙස බැලීම පවා මා හට අප්‍රසන්න වූයේ ය.
" තමුන් මේ වැඩේ කළොත් මම තමුන්ට යන්න දෙන්නම්... "
මම හැඟීම් විරහිත ලෙස ඔහු දෙසට බැල්මක් හෙළුවෙමි.