ජෝඩු කිරීම

298 59 101
                                    

ඊළඟ දිනයේ උදෑසනින් ම අවදි වී දිය නා පිළිවෙළට හැඳ පැළඳ ගත් කුක්සෝමත් නෙල්ලි මැණිකාත් විශාල පෝර උරයක් ද බරට බරේ ඔසවාගෙන හීන්බණ්ඩාගේ නිවස වෙත යාමට පිටත් වූහ.

ඔවුන් එහි ළඟා වන විට මල් පැළයකට සාත්තු කරමින් සිටි සීලවතී ඉදිරියට විත් ගේට්ටුව විවර කළා ය.

මදක් එහා මෙහා වී පැත්තක් එසවී තිබූ ඇගේ චීත්ත රෙද්දත් වතුරෙන් තෙමී ඇගේ ඇඟට හැට්ටය ඇලී තිබූ නිසා කැපී පෙනුණු පපු ප්‍රදේශයත් දුටු නෙල්ලි මැණිකාට සිහි වූයේ මීට වසර පහකට පමණ පෙර ඔවුන් දෙදෙනා පෙන්ස් විත් බෙනිපිට්ස් ලෙස ගත කළ ආකාරයයි.

එහෙත් වර්තමානය වන විට සීලවතී පැණි හලමින් සිටියේ කුක්සෝම හට ය. තම මිතුරිය නොදුටුවාත් මෙන් කුක්සෝම දෙසට හැරුණු ඈ "කුක්සෝම අයියා මොකද මේ පැත්තෙ?" යැයි ඉඟ සොලවමින් ඇසුවේ ඔහුගේ අවධානය දිනා ගැනීමට ය.

"අපි මේ හොබීදාස අයියවයි හීන්බණ්ඩා මාමාවයි මුණගැහෙන්න කියලා ආවෙ."

"අයියා නම් උදෙන්ම පන්සල පැත්තෙ ගියා කුක්සෝමයියෙ. අපෙ අප්පච්චිව හම්බවෙන්න ආවෙ මොකෝ? අයියට ඉහෙන් බහින ලෙඩක්වත් තියෙනවැයි?"

"ලෙඩක් නම් තියෙනවා තමා. හැබැයි මට නෙවෙයි මේකිට. ඉහෙන් බහින එකක් නෙවේ පපුවෙන් බහින එකක්." ඔහු කීවේ හිසින් තම නැගණියව පෙන්නා ඉඟි කරමිනි.

"ඔව් මේ... ආදරේ කියලා ලෙඩක්." කී නෙල්ලි මැණිකා ඔළුව දෙපසට වනමින් යුගයේ ජනප්‍රිය ම වේදිකා නාට්‍යය වූ දෙවෙනි ඉනිමට රංගනයෙන් දායක වූ සුරූපී නිළි ඔල්මාද චිත්‍රාගේ සිනහව වැනි සුන්දර සිනාවක් පෑවා ය.

එවිටම වාගේ දොරකඩට ආ හීන්බණ්ඩා "ආ මේ දරුවො දෙන්නනෙ ඇවිත් තියෙන්නෙ. එන්න ඇතුළට" කියමින් ඔවුන්ට ඇරයුම් කළේ ය. එහෙත් ඔහුගේ සද්දන්ත ශරීරයෙන් මුළු දොරකඩ ම වැසී තිබීම නිසා තමන් ඇතුළු විය යුත්තේ කොතැනකින්දැයි ඔවුන්ට සිතා ගැනීමට නොහැකි විය.

"ඇතුළට එන්න තිබ්බා අප්පච්චි පොඩ්ඩක් ඔතනින් එහාට වුනා නං"  සිදු වී ඇති අකරතැබ්බය දුටු සීලවතී කීවේ කට කොනකින් සිනාසෙමිනි. කවදත් තම දියණිය ඉදිරියේ සුවච කීකරු වූ හීන්බණ්ඩා දොර අසලින් මෑත් වූයේ ඉන් අනතුරුව ය.

අලුත් ගුරුන්නාන්සේ || Taekook ✔✔Where stories live. Discover now