~6~

110 29 17
                                    

"ඔහු නිර්භීත සේම අවිහිංසකයි..මුසාවට වයිර කරන්නෙක්..මෙවැනි තරුණයන් ආශිර්වාදයක් ගොඩබිම් දෙකෙහි දේශයට.." රැම්සිස් නිහඬව සිතීය.

මොහොතකට පසු රැම්සිස් පසුපසින් හේරු අබුසිම්බල්හි ප්‍රධාන දෙවොලට ඇතුලු විය.
හේරු තමන්ගේ ඉශ්ඨ දේවතාවන්ට සිතින් ස්තූතිකිරීමට අමතක නොකලේ මෙවැනි වාසනාවක් ඊජිප්තු වැසියන්ට කිසිදා නොලැබෙන බැවිනි.
අභ්‍යන්තර දෙවොල මධ්‍යයේ ප්‍රධාන දෙවිවරුන් වන රා , හොරස් , ආමන්, පිටා දෙවිවරුන්ගේ ප්‍රතිමා පැවති අතර එහි පවතින්නේ මූර්ති නොව සැබෑම දෙවියන් බව සිතෙන තරමටම ඒවා ජීවමාන ස්වරූපයක් ගෙන තිබුනේ හේරුගේ සිතද මදක් සසල කරමිනි.ඒ වනවිටත් සන්ද්‍යා පූජාවේදී දැල්වූ සුවඳදුම් දැවෙමින් පැවති නිසා එහි පැවතියේ මනස සන්සුන් කර නිද්‍රාශීලි බව ඇතිකරන සුලුවූ සුවඳකි.
හේරු දෙවොල වටා නෙත්‍ යොමුකොට අවසානයෙදී තම අවධානය දෙවියන් වෙනුවෙන් පාරාවෝ විසින් පවත්වන විශේෂ පූජාව වෙත යොමු කලේය...
පාරාවෝට නිදහසේ දෙවියන් සමඟ කතාකිරීමට ඉඩ සලසා හේරු නිහඩව බලා සිටියේය.
මොහොතකින් රැම්සිස් නැගීසිටි අතර ඔහුගේ තියුණු බැල්ම හේරු වෙත යොමු විය.

" මා මේ දෙවොලෙහිදී ඔබට භයානක මෙන්ම බොහෝමත්ම භාරදූර කාර්‍යයක් භාරදීමටයි යන්නේ..මා පවසන දේ හොදින් අසා සිටින්න...මා පවසා අවසන් වනතුරු නිහඬව අසාසිටිනු..වැටහුණාද ?" රැම්සිස් තරුණයාගේ දෑස දෙස බලා පැවසීය.

හේරු තම හිස වනමින් රැම්සිස්ගේ පැනයට පිලිතුරු ලබාදුන් අතර තමා ඉදිරිපිට සිටින්නේ පාරාවෝ බව සිහිවූ වහාම කෙලින් සිටගෙන හිස බිමට හරවා ගත්තේය..
රැම්සිස් තරුණයාගේ මෙම ක්‍රියාවෙන් පුදුමයට පත්වුවද ඒ බවක් නොපෙන්වා තමන් පැවසීමට පැමිණි දෙය පැවසීමට තීරණය කලේය..

" මා ඔබට මේ පැවසීමට යන දෙය ඊජිප්තු රාජධානියේ කිසිවෙකුත් මෙතෙක් නොදන්නා දෙයක්...මහරැජින ඉසෙට්, මහාමාත්‍ය හෝ ආරක්ෂක ප්‍රධානී පවා නොදන්නා දෙයක්..ඒ නිසා සියල්ලට පලමුව ඔබ දිවුරුම් දිය යුතුයි  ඔබ මෙය කිසිවෙකුට හෝ නොපවසන බවට...ඔබේ ඉශ්ඨ දේවතාවන් සහ ආමන්  දෙවියන් සාක්ශි කොටගෙන.." රැම්සිස්ගේ හඬ නිස්කලංක දෙවොල් බිමෙහි නිහඬ බවට බාධා කරමින් ගලාගියේය.
හේරු දැඩි අධිෂ්ඨානයෙන් රැම්සිස් දෙස බලා හිස සොලවා දෙවොල මධ්‍යයට ඇවිද ගියේය. ඔහු ප්‍රධාන දෙවිවරු සතර දෙනා ඉදිරිපිට  සිට ගෙන  දණ ගැසුවේය.භාවනායෝගී ඉරියව්වෙන් අසුන්ගත් හේරු තම දකුණත ඉදිරියට දිගු කල අතර වමත ඔහුගේ වම් දණහිස මත තබාගත්තේය..

-නිසල රැයේ ආලෝකය-Where stories live. Discover now