~12~

84 21 0
                                    

" හේරු , අවදිවන්න..හේරු..හේරු.."
හේරු සෙමෙන් දෑස් හැරියේය. තමා තවමත් සිටින්නේ නෙෆටාරිගේ කුටියේ බව ඔහු වටහාගත්තේය. රැම්සිස් සමඟ තම ප්‍රධානියා තමා අසල සිටින බව වටහාගත් හේරු සෙමෙන් නැගිට සිටියේය .
" කොහිද ඔබ අතරමං වූයේ..මා කෙතරම් ඔබට කතා කලාද?.." හේරුගේ ප්‍රධානියා සෑම විටම ඔහුට සැලකුවේ තමාගේම දරුවකුට සේය.එමනිසා ඔහුගේ නොසන්සුන්බව හේරුට අරුමයක් නොවීය.නමුදු තමා මොහොතකට පෙර මුහුණ දුන් ඒ සිදුවීම ප්‍රධානියාට විස්තර කිරීමට හැකියාවක් ඔහුට නොවීය.

" ඔහු රාත්‍රියේ බොහෝ වෙහෙසුණු නිසා නින්දට වැටෙන්නට ඇති ප්‍රධානී..නමුත් දැන් ඔබ වාර්තා කලයුතු නොවේද ප්‍රධාන ආරක්ෂක කාර්‍යාලයට රාත්‍රියේ මුර සංචාර පිලිබද තොරතුරු ලබා දීමට ..ඔබ ප්‍රමාද වුවහොත් එය මටත් නින්දාවක් වේවි.." පාරාවෝ ආරක්ෂක ප්‍රධානියාගේ අවදානය ඔහුගේ රාජකාරිය වෙත යොමු කිරීමට එසේ සමත්විය.ඒ අනුව ප්‍රධානියා වහ වහා පිටත්ව ගියේ තමාගේ ප්‍රමාදයකට හේතුව අසා සිටීමට තරම් ඉවසීමක් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙත නොමැතිබව දන්නා හෙයිනි.

" උතුමාණනි ,  මට පූජකවරියක් හමුවුණා..ඇය පැවසුවා උකුස්සකු සේ දකින්න කියා..එවිට අවශ්‍ය දේ හමු වේවි කියා.." හේරු සරලව තම අත්දැකීම රැම්සිස් ඉදිරියේ දිග හැරියේය.ඔහු උවමනාවෙන්ම අවසාන කොටස අත් හැරියේ රැම්සිස්ගේ ඉවසීම පරික්ශා කිරීමට කිසිසේත්ම අවශ්‍ය නොවූ බැවිනි.

....................

උදෑසන හිරු පායා ජනතාව තමන්ගේ කාර්‍යයන් ආරම්භ කොට මේ වනවිට හෝරා කිහිපයක් ගෙවී ගොසිනි. මදක් විවේක ගන්නා ලෙස රැම්සිස් ලබාදුන් නියෝගය ඉවතලූ හේරු දෙවොල අවට මදක් විපරම් කරන්නට වූයේ කුමක් හෝ තොරතුරක් දැනගැනීමේ අපේක්ෂාවෙනි.වියන්නියන්, වෙලෙන්දන්, මසුන් අල්ලන්නන්, මහල්ලන් ආදී සියල්ලෝම දෙවොල අවට තම තමන්ගේ ජීවිකාවන් ගෙනයාමට රැස්වන අතර ඔවුන් අතර හුවමාරු වන ඕපාදූප නිසැකවම මානික්‍ය තරම් අගනාබව හේරු දැන සිටියේ අත්දැකීමෙනි.නමුත් තවමත් ඔහුට කිසිවක් සොයාගැනීමට හැකිවූයේ නැත.

තමා සමඟම කෝපයෙන් ඉදිරියට ඇවිදගිය හේරු නයිල් නදියේ ඉවුරෙහි අසුන් ගත්තේය.ඔහුගේ මනස එකිනෙකට වෙනස් විවිධ සිතුවිලි සමුදායකින් වැසීගිය අතර ඔහුගේ දෑස කදුලින් බරවිය. තම මෑණියන්ගේ තුරුලෙහි හිද මදක් සන්සුන් වීමට ඔහුට අවශ්‍ය විය.නමුදු ඔහු ඔහුගේ නිවසින් බොහෝ දුරස්ව ඇත. තම කුඩාකල මතකයන් අතර කිමිදගිය හේරුට ඇගේ මෑණියන් නිරතුරුව පැවසූ යමක් සිහිවිය.

-නිසල රැයේ ආලෝකය-Where stories live. Discover now