Page 02

832 116 21
                                    

2017.09.20
බදාදා

7.30 බස් එකට ගොඩ වුණත් සතියෙ දවසක් නිසා අද සෙනග වැඩි. දැන් තමයි ඉදගන්න තැනක් ලැබුණේ. මිනිස්සු අතරෙ හිර වෙලා ඇවිත් දැන් නම් උදේ මැදගෙන ඇදන් ආපු ඇදුම පොඩි වෙලා. බෝඩිමේ ඇන්ටිගේ අකමැත්තෙන් ඉස්ත්‍රික්කය පාවිච්චි කරන්නේ. කන්තෝරුවේ අනික් කෙල්ලො දැන් මේ ඇදුම දිහා බලන්නෙත් වපර ඇසින්. අද නම් අර වයසක ගෑණු කෙනා නාලා හිටියෙ නෑ. මං හිතන්නේ පහන තියන්න ගෙදර ඉස්සරහ වතුසුද්ද ගහේ පිපිලා තිබුණ සුදු මල් ටික කැඩුවද කොහෙද ? හිටගෙන ආපු නිසා මට අද ඒක හරියටම බලාගන්න බැරි වුණා.

දවස් හතරක් ඇතුලත මට තාමත් එක දෙයක් මතක් වෙනවා. කලු පාට ඇස් දෙකක්. උරහිස ලගට වැටුණ කලු කොණ්ඩයක්. ඇස් දෙකට දකින දේවල් ගැන හිතන එක වගේම මේ විදිහට ලියන එක මට නතර කරගන්න බෑ. මගින් මගට නවත්තන බස් එක තවත් මගීන් හොයන්නේ කොහෙ දාගන්නද කියලා මට හිතෙනවා. ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.

සමන් පිච්ච සුවදට පිරිමියෙක්ගේ සැර විලවුන් සුවදක් මුසු වෙලා උණු බත් එකක සුවදක් නහයට දැනෙනවා. ඒකට මුහු වෙන දුම් ගද මේ ජීවිතේ කටුක බව පෙන්නනවා. නොගැලපෙන සතුටක් ගැබ් වුණ වේග රිද්ම ගීතයක් සමග නාද වෙන දුරකථනයට තාමත් පිළිතුරක් නොදෙන ඒ අයිතිකාරයා එක්ක එන තරහ පාලනේ කරන් ඉන්නෙ බොහොමත් අමාරුවෙන්.

විනාඩි පහකින් මගේ නැවතුම. දවස් හතරකින් අදත් ඒ හමුදා නිලධාරියාට පිං පිණිස ඉදි කර තිබූ නැවතුමේ බසය නතර වුණා. කොයි තරම් වේගෙන් බසය ගමන් කරත් අතේ හොදින් රදවා ගැනීමට හැකි පෑන මේ වෙලාවෙ වෙව්ලනවා. පපුව වේගෙන් ගැහෙනවා දැනෙනවා. කොහෙදෝ ඉදන් ආපු ලා සුලං රැල්ල ඉරිදා හවසට පෙන්නන හින්දි චිත්‍රපටය මතක් කරවනවා.

කලු ඇස් කෙල්ල අදත් බස් එකට ගොඩ වුණා. එක වරක් වත් මගේ ඇස් සමග ගැටුණෙ නැති ඒ ඇස් වල කිසිම හැගීමක් නෑ. එයාට ඉදගන්න කිසිම හිස් ආසනයක් නෑ. තිබ්බත් ඒ කෙල්ල ඉදගන්නෙත් නෑ. සීතල හදවතක් ඇති කෙල්ලෙක් කියලයි හිතෙන්නෙ. ඒත් වෙන අය නිගමනය කරන්න පුලුවන් මට තේරුම් ගන්න අමාරු පරිච්ඡේදයක් ඇය. අත ඉහලට ඔසවා ගෙන තම සමබරතාවය රැකන් ඉන්න කෙල්ලගේ මැණික් කටුව ලග තිබුණ ටැටූ එක මං දැක්කා. කන්තෝරුව ඉදිරියෙන් පේනවා. මං දැනට නවතිනවා.

°°°°°°°°°°°°°

අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.

by blacklove.

දිනපොත | 𝙶𝙻 ✔️Where stories live. Discover now