1 පරිච්ඡේදය

15.9K 670 36
                                    

හිරු ක්ෂිතිජයේ ගිලී ගොස් හමාර ය. ගොම්මන් අඳුර පරිසරයම වෙලා ගන්නට වෙර දරයි. උදෑසන තම රාජකාරීවලට ගොස් රාත්‍රිය උදා වන යාමයේ දී තම නිවෙස් කරා යන මළ කඳන් හා සමාන මිනිසුන් පාර අයිනෙන් ඇදෙති. ඔවුන් තම ඒකාකාරී ජීවිතය තුළ ළිං මැඩියන් මෙන් සිර වී තම ජීවිත දිය කර හරින්නේ වෙනත් විකල්ප ඇති නිසා නොවේ. මේ, මෙවැනි රටක සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයේ ඔවුන්ට අනුව ඔවුන්ගේ ලැබීම යි. නමුත් ඒ සාම්ප්‍රදායික රටාව වෙනස් වන්නට යන්නේ බාග වේලාවට එක් මොහොතක් විය හැකිය; එක් පුද්ගලයෙක් නිසා විය හැකිය; එක් අහඹු සිදුවීමක් නිසා විය හැකිය. නමුත් මීළඟට සිදු වන දේ අනපේක්ෂිත ය, අවිනිශ්චිත ය, අභිරහසක් ය. ජීවිතය විටෙක අපූරු වන්නේත්, විටෙක නීරස වන්නේත්, විටෙක සුන්දර වන්නේත්, අභියෝගයක් වන්නේත් මේ නිසාවෙන් නොවේ ද?

රාත්‍රී තෙවෙනි දුම්රියේ පැමිණි මගීන් රොත්ත අතරින් ෂමිත් දැඩි වෙහෙසක් දරා හුස්ම හිර වන්නට පෙර දුම්රිය ස්ථානයෙන් පිටතට පැන ගත්තේ ය. ඔහු පිටතට අඩියක් තබන විට ම, ඔහු දුම්රියට ගොඩ වූ වේලාවේ සිට මේ වන තුරුම කලු වළාකුළින් බර වී තිබූ අහස මහා වර්ෂාවකට පරිවර්තනය වූයේ ඔහුට ම වෙන් වූ දඬුවමක් ලෙසිනි. දුම්රිය ස්ථානය ඉදිරිපිට වහලය යටට වී බලා සිටි ඔහුව පසු කරමින් අනෙක් මගීන් තම තමන්ගේ කුඩ ඉහලා ගනිමින් ඉක්මන් ගමනින් තම ගමනාන්තය වෙත යන්නට විය. කුඩයක් රැගෙන යාම ඔහුගේ සිරිත් අතර කිසිම දිනෙක නොතිබුණ දෙයකි. කුඩා කල සිට ම වැස්සේ තෙමීගෙන නිවසට පැමිණීම ය ඔහුගේ සිරිත වූයේ. නමුත් කිසි දිනෙක ඔහුට එය විනෝදයක් මිස වදයක් නොවින. නමුත් දැන් ඔහුට එය කිසිසේත්ම නොරුස්සන්නකි.

"Shit! මොන මගුලක් ද මේ?"

කලකිරීමෙන් තමාට ම පවසා ගත් ඔහු වටපිට බැලුවේ ය. දුම්රිය ස්ථානයේ ඉතිරි වී සිටියේ පසෙකට වී ආණ්ඩුවට දෙහි කපමින්, සිගරට් උරන මැදි වයසේ පසුවන පරඬැල් මෙන් මිනිසුන් කිහිප දෙනෙකි. දුම්රියේ පැමිණෙන තුරුම මෙවැනි ආණ්ඩු විරෝධී කතාවන්ට කන් දෙන්නට සිදු වූ ඔහුගේ කෝපය තවත් වැඩි විය. ඔහු අතේ බැඳ තිබූ ඔරලෝසුවෙන් වෙලාව පරික්ෂා කළේ ය. වෙලාව රාත්‍රී හතයි පනහට ළඟ ය. ඔහු ඉක්මනින් නිවසට නොගියහොත් ඔහුගේ රාත්‍රී "වැඩ මුරය" ඔහුට මගහැරේ. ප්‍රමාද වුවහොත් ඔහුගේ පඩිය බලා සිටියදීම හිඳී යයි. එබැවින් අහස දෙස බැලූ ඔහු නිවසට යන අතරතුර ම නා ගැනීමේ අරමුණෙන් දුම්රිය ස්ථානයෙන් පිටතට බැස්සේ ය.

The Deathtrap Where stories live. Discover now