කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿 රූ... 🌿
22 කොටස
©️ Rithu_Sakura
⭕මේ කොටස ආයෙත් රුවීශාගෙ දැක්මෙන් තමා ලියැවෙන්නේ.
🍃🍃🍃
එළි වෙනකන් මං කොහොම දවස ගෙව්වද මට මතක නෑ.හංස අයියා මාව බලෙන්ම දුලා අක්කා එක්ක ගෙදර යැව්වේ මං අඬලා අඬලා හෙම්බත් වෙලා ඉද්දි.රුශාල් ලේ දෙන්න ගියාට පස්සේ මොනා උනාද කියන්න තරම් සිහියකින් නෙමේ මං උන්නේ.පපුව පැලෙන්න තරම් වේදනාවයි.මං ගෙදර යද්දි සිද්ධිය ආරංචි වෙලා යස්මිත් තකහනියෙ ඇවිත්.යස්මිව දැක්කා විතරයි මං එයාව බදන් ඉකි ගගහා ඇඬුවේ.
"අනේ අඬන්න එපා රුවියෝ...ඕන දේකට අපි ඉන්නවානේ..පැංචාට මුකුත් වෙන්නෙ නෑ.."
අඬන මාව සනසන්න යස්මි කිව්වට මට තේරුනා යස්මිත් අඬනවා කියලා.අඬ අඬම කොයි වෙලාවෙ මට නින්ද ගියාද මං දන්නෙ නෑ.ඇහැරෙනකොට පාන්දර හතර පහු වෙලා.මං ඇඳට කොහොම ආවද කියන්නවත් මට මතක නෑ.අඬලා අඬලා හෙම්බත් වෙච්ච මං එහෙමම ඇඳ විට්ටමට හේත්තු උනා.යස්මි එහා පැත්තේ නිදි.දරාගන්න බැරි වේදනාවෙන් මං ඇඳෙන් නැඟිට්ටේ ඉවසන්න බැරි තිබහකුත් ආව නිසා.කෑම කාමරයට ගිහින් වතුර බිබී ඉද්දි යස්මි කෑ ගහගෙන දුවගෙන ආවේ මාව හොඳටම බය කරලා.
"රුවී...කොහෙද ඔයා??"
එයා කෑ ගැහුව විදියට මට දැනුනේ බයක්.රිතිරවමයි ඔලුවට ආවේ.
"යස්මි..ඇයි..ඇයි මේ කෑ ගහන්නේ?අනේ පුතාට ප්රශ්නයක් නෑ නේද??"
යස්මිගෙ මූණ දැකලා මට ඇත්තටම බයක් දැනුනා.අනික යස්මි කියන්නේ වැරදිලාවත් පාන්දර ඇහැරෙන කෙනෙක් නෙමේ.
"නෑ..නෑ..කෝල් එකක් ආවා.ඒ පනිවිඩේ ඔයාට දෙන්න හදද්දි ඔයා නෑ.කලබල උනු පාර බය හිතුනා..හරි හරි...දැන් ඉක්මනට ගිහින් මූණ කට හෝදන් ඇඳුමක් දාන් එන්න...තව ටිකකින් අක්කා එයි අපිව එක්කන් යන්න.."
යස්මි කියද්දි මං මගෙ අත් දෙකෙන්ම එයාව අල්ලගත්තා.
"කො..කොහෙද??"
මට වචනත් ගොත ගැහුනා.ඒ ටිකට මගෙ ඇස් කඳුලු වලින් පිරිලා.
"හොස්පිට්ල් එකට..අයියා කෝල් කලේ.පැංචාට සිහිය ඇවිත්..ඔයාව හොයනවලු..ටක් ගාලා ඇඳ ගන්නකෝ"