කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿රූ🌿
16 කොටස
©️Rithu_Sakura
හංඟලා තිබ්බ රිමෝට් කාර් එක මං එළියට ගත්තේ යස්මි එක්ක කප් කේක් ටික හදලා ඉවරයක් කරන්න ඕන නිසා.පුතාව චුට්ටක් බිසී කරලා තියාගන්න එක හොඳයි.ඒකට බැට්රිත් දාලමයි රුශාල් දීලා තියෙන්නේ.පේන මානෙන් පුතාව තියාගෙන මං ගෙනාව බඩු එකින් එක එලියට ඇද්දා.
"යස්මී...එන්න..හදන්න පටන් ගමු"
යස්මිගෙ වැඩේ උනාට මම තමා මුල පුරන්න ඕනේ.යස්මි එතනට ආවේ ෆෝන් එක කනේ තියාගෙන.කතා කරන හැටියට නම් ඒ මලිත් අයියා.
"මං කිව්වනේ...අද කප් කේක් ටික ඔක්කොම හදන්නේ මගෙ අතින්.ඒ විතරක් නෙමේ අයිසින් කරන්නෙත් මම...ආ...රුවී ඉන්නවා තමා..එයාට තියෙන්නේ අද බලාගෙන ඉන්න...හහ්..මට බෑ කියලද හිතුවේ?තියන්නම්.ඔරන්ඔටන්"
අන්තිමට යස්මි කෝල් එක කට් කලේ මලිත් අයියට බැනලා.ඒකත් එකටම තනියම හදන්නම් කිව්ව නිසා මොනාම හරි විහිලුවක් කරලා.මං තොල් පොට තද කරන් උන්නේ හිනාව වලක්කගන්න. මොකද යස්මි මූණත් නටව නටව ආයේ මැසේජ් එකක් ටයිප් කරනවා හරිම වේගෙන්.
"මොකෝ?කටින් කියාගන්න බැරි එකක්ද මැසේජ් කරලා යැව්වේ?"
මගෙ දිහාට හැරුනු මොහොතෙම මං ඇහුවා.
"මේ මිනිහා මාව අවතක්සේරු කරලමයි කතා කරන්නේ.අද මං කේක් හදනවා රුවියෝ නැන්දම්මට කේක් එපා වෙන්න...මෙන්න මෙහෙ දෙනවා ඔය ටික.."
මගෙ අතින් බඩු ටික අරගත්ත යස්මිගෙ කෝලම් දැකලා මට හිනා.කවදාවත් මේ වැඩ කරලා නැති යස්මි ගානට තනියම ඔක්කොම කලා.බේක් වෙන්න තියන ටිකට අපි දෙන්න තේ ටිකකුත් හදන් සාලෙට ගියේ පුතා සෙල්ලම් කරන දිහා බලාගෙනමයි.අවුරුදු තුන හමාරකුත් වෙන්න එනවා.ඒත් පැහිච්චකම උපරිමයි.අපි එද්දි කොල්ලා බිල්ඩින් බ්ලොක්ස් වලින් පාරක් වගේ හදාගෙන කාර් එක ඒක දිගේ යවන්න හදනවා.අද කාලේ හැම පොඩි එකාම මෙහෙමද මං දන්නෑ.
ඒ අතරෙ තමා හංස අයියගෙ කටහඬ මට දොර දිහායින් ඇහුනේ.කෝල් එකක ඉන්න ගමන් උනත් හංස අයියගෙ ඇස් දෙක තිබුනේ පුතාගෙ රිමෝට් කාර් එක දිහාවට.එයා ඒක ගෙනත් දුන්නේ රුශාල් කියලා නොදන්නවා ඇති.මොකද මං ඒක එයාට කිව්වයි කියලා මතකයක් මගෙ ලඟ නෑ.කෝල් එක ඉවර වෙලා හංස අයියා ගියේ පුතා ගාවට.