කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿රූ...🌿
3 කොටස
"හප්පේ...බලාගෙන"
බයටම ඇස් දෙක වහගෙන එකතැන ශොක් වෙලා වගේ උන්නු මං ඇස් ඇරියේ දොර ගාවින් ඇහුනු කට හඬින්.මං බලද්දී රිතිරව අල්ලගෙන මං ඉස්සරහා හිටන් උන්නේ රුශාල්.වැටෙන්න ගිය පුතාව රුශාල් අල්ලගෙන.රුශාල්ගෙ අත් වලින් එයාගෙ පුතාව අල්ලපු පලවෙනිම වතාව.මගෙ හුස්මත් මොහොතකට නතර වෙන්න ඇති.
"බබාට උයියා නෑ නේද?"
රුශාල් ඇහුවේ පුතාව වඩාගෙන ඒ මූනත් අතගාලා.
"උයියා වෙන්න වැතුනෙ නෑනේ..."
මගෙ කොල්ලගෙත් කට වැඩිය නෑ.ඒ කෙසේ වෙතත් මං උන්නේ එකතැන ගල් ගැහිලා වගේ.පැංචගේ කතාවට හිනා උනු රුශාල් හොඳට පැංචගෙ මූන දිහා බලන් ඉදලා ඒ මූන ඉම්බා.ලේ සුවඳින් හරියට ඒ ඉන්නේ එයාගෙ පුතා කියලා තේරුනා වගේ ආදරේකින් රුශාල් රිතිරව ඉම්බේ.රුශාල්ගෙ රැවුල් කොට වැදිලද මන්දා රිතිර හයියෙන් හිනා උනා.පියවි සිහියට ආව මං අඩියට දෙකට රුශාල් ගාවට කිට්ටු උනේ පුතාවත් අරන් ගේ ඇතුලට යන්න හිතාගෙන.
"මෙහෙ එනවා...ආවා මෙතන දඟ වැඩ කරන්න"
රුශාල්ගෙ අතින් මං දරුවව ගන්න හැදුවේ එයාගෙ ඇඟේ මගෙ අතක්වත් වදින්නෙ නැති විදියට.එයාටත් ඒක තේරෙන්න ඇති.හදවත ගැහෙන්නේ පුදුම වේගෙකින්.මොකද පුතුව ගන්නකන්ම එයාගෙ බැල්ම තිබ්බෙ මං දිහාවෙ කියලා මට ඇස් කොනෙන් පෙනුනා.වචනයක්වත් නොකියා මං පුතාවත් අරන් හැරෙනකොටම නතර උනේ රුශාල්ගෙ හඬට.
"රූ..."
මාව අතීතෙට ඇදිලා ගියා.දන්න කාලෙ ඉඳන් හැමෝම මට කතා කලේ රුවී කියලා.ඒත් රූ කියලා කතා කලේ රුශාල් විතරමයි.මං කෙල පිඬක් ගිල්ලා.ඒ ඇමතුම මට ආයෙ අහන්න ලැබෙයි කියලා මං හිතුවෙ නෑ.මං පුතුවත් වඩාගෙනම රුශාල් දිහාට හැරුනා.ඒ ඇස් බලන් උන්නේ මගෙ ඇස් දිහාමයි.ඒ බැල්මෙ තිබ්බෙත් ලොකු දුකක්.මං බලන් උන්නේ එයා මොනා හරි කියනකන්.මගෙ හදවත ගැහුනේ හරියට එයා මුලින්ම ආදරෙයි කිව්ව දවසෙ තරම්ම වේගෙන්.