සන්තානේ
(දෙහදක් 2)අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗
💜️6 කොටස💜️
අහිංසා හා තිහස් ඇර සියලු දෙනාම කෑම කෑවේ සතුටු සාමිචියේ ඉද්දිමයි.තිහස් නම් කනවට වඩා කළේ කෑම අතගාපු එක.අහිංසාගෙත් වැඩේම තිහස්ට රවපු එක.වසන්තයි තිහසුයි ඉන්න නිසා සැලෝන් එකේ වැඩේ ගැන නිදහසේ ගිරිරාජ්ගෙන් අහන්න විදියකුත් අහිංසාට නෑ.ඒකමයි අහිංසාට තිහස් එක්ක කේන්තිය වැඩි.
"පේරාදෙණි ගිහින් ඔයාලා හෙටම එනවද සූරිය?"
වසන්ත ඇහුවේ කෑම කටක් කන ගමන්.
"අපි නම් හෙට රෑ වෙලා එනවා.පුතයි දුවයි දවසක් දෙකක් එහෙ ඉඳීවි"
ගිරිරාජ් කියද්දී චාන්යා ලාවට හිනා උනා.අම්මා තාත්තා එක්ක ඉන්න තියෙනවා නම් ඇයට ඒ තරම් සතුටක් වෙන නෑ.චාන්යාගේ හිනාව දැක්ක කේශව හිමීට අත පාතට දාලා ඇගේ කලව උඩින් අතක් තිබ්බේ කාටත් නොදැනෙන්න.කලබල වෙච්ච චාන්යා ඇස් උස්සලා කේශව දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ.
"අඹ ගහ මතක් උනා"
කේශව චාන්යා ගාවට නැමිලා රහසින් කියද්දි චාන්යා ඇස් ලොකු කරලා කේශව දිහා බැලුවේ අඹ ගහේ තියෙන විශේෂත්වය නොතේරෙද්දි.
"අද හෙටම ලෝකෙ විනාස වෙයි කියලා හිතලා දුන්නු උම්මා එක මතකද?"
කේශව ආයෙත් හිමීට කියද්දි චාන්යාත් කේශවගේ කලවයක් මිරිකුවේ කටවහන් ඉන්න කියලා ඇස් වලින් තරවටු කරන ගමන්.කේශව දිව හපාගෙන හිනා උනේ චාන්යාගේ මූණ රතු වෙලා තියෙනවා දැකලා.
"තිහස්,දැන් මොකද පුතා කරන්නෙ මේ දවස් ටිකේ?"
ගිරිරාජ් ඇහුවේ ආව වෙලාවෙ ඉඳන් තිහස්ගේ කටහඬ අහන්න නොලැබුනු නිසා.
"අන්කල් මං.."
"මෙයා මොනා කියලා කරන්නද සූරිය?යාලුවෝ එක්ක රස්තියාදුවෙම තමා"
ගිරිරාජ් ඇහුව දේට උත්තරයක් දෙන්න ඉඩ දෙන්නෙ නැතිව වසන්ත එහෙම කියද්දි තිහස්ට දැනුනේ කියාගන්න බැරි කේන්තියක්.කේන්තියකට වඩා ලැජ්ජාවක්.