සන්තානේ - දෙහදක් 2
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
💜️47 කොටස💜️
සාරංග දින දෙකකට කාර්යබහුල වෙද්දී අහිංසාත් උන්නේ මුතූ එක්ක සුපුරුදු විදියට සැලෝන් එකේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා.සාරංග අද හෙටම ඇය හමුවට එන බව දන්න නිසාම අහිංසා නිතරම උන්නේ සිනාමුසු මුහුණින්.හැමදේටමත් වඩා ඇයට මතක් උනේම සාරංග ඇගේ නළලත සිපගත් හැටි.ඈත් වෙන්න හදනවාට වඩා දෙගුණයක් වේගයෙන් සාරංග ළං වෙද්දි ඇයට ඉස්සරහට මූණ දෙන්න සිද්ද වෙන ගැටලු පවා අමතක උනා.කොණ්ඩෙ කපන්න ආව යුවතියකගේ අවශ්යතාවය ඉටු කරලා අහිංසා උන්නේ බිම අතුගාමින්.ඇය ඒ වෙද්දිත් උන්නේ සාරංගව මතක් වී සිහින් සිනාවකින් මුව සරසාගෙන.වටේ පිටේ වෙන දේවල් ගැන අවධානයෙන් නොඋන්නත් මුතූ නම් උන්නේ අහිංසාගේ මූණ අමුතුවෙන් එළිය වැටිලා තියෙන හැටි ගැන හොඳ කල්පනාවෙන්.
"තනියම හිනා වෙන හේතුව අපිටත් කියන්නකෝ අක්කී..."
අහිංසා හිස ඔසවා බැලුවේත් ඒ හිනාවෙන්මයි.මුකුත් නැතැයි කීවොත් මුතූ එය විශ්වාස නොකරන බවට ඇයට විශ්වාසයි.ඒ නැතත් මුතූ සියල්ලම දැනගන්න ඕනා කියලා හිතුව අහිංසා කොහු මිටේ කෙළවරින් නිකට තියාගෙන මුතූ දිහා බලන් උන්නේ අර හිනාවෙන්මයි.
"බඩ්ඩක් කියන්න තියෙනවා"
"ඔව්..ඔව්..මටත් පේනවා මූණෙන් ලොකූ බඩ්ඩක් කියන්න තියෙනවා කියලා...අගේ නොකර කියන්නකෝ ඉතින්"
මුතූට ඉවසීමක් තිබ්බෙ නෑ.ඇයට හිතුනෙම සාරංග අහිංසාට ආදරේ ප්රකාෂ කරන්න ඇති කියලා.සාරංගට වෙච්ච පොරොන්දුව කඩන්න බැරිකමකට මිසක් නැත්තම් මේ වෙද්දි මුතූ මේ වෙද්දි හැමදේම අහිංසාට කියලා.කොස්ස පැත්තකින් තිබ්බ අහිංසා මුතූ ගාවට ළං වෙලා රදීශ ආව දවසේ වෙච්ච සිදුවීම ඇය එක්ක කිව්වේ මුතූ ආසාවෙන් අහන් ඉද්දි.
"ඔය ඇත්තමද??ඇති යන්තම් මේ මැට්ටට හිතේ තියෙන දේ කියන්න හිතුනා.."
දැනිච්ච සතුටටම මුතූගෙ මුවින් එහෙම පිටවෙද්දි කාටත් වඩා කලබල උනේ අහිංසා.