සන්තානේ
(දෙහදක් 2)අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗
💜️21 කොටස💜️
ශාදි නොහිතා පැවසුව දෙයට කාට නැතත් අහිංසාගෙ හිතට දැනුනේ ඉදිකඩු තුඩු වලින් පපුවට අනිනවා වගේ හැඟීමක්.සියුම් වේදනාවක් එක්ක එකතු උනු ඊර්ශ්‍යාවක් ඇයව සම්පූර්ණයෙන්ම කලඹවලා තිබ්බේ.ඇගේ ඇඟිලි පවා අභ්‍යන්තරයෙන් වෙව්ලනවා කියලා ඇයට දැනෙද්දී ඇය බලන් උන්නේ ශාදිගෙ මූණ දිහාමයි.වචනයක්වත් කතා කරගන්න බැරිව අහිංසා නිහඬවම හිටියත් මුතූ නම් උන්නේ පුපුරන්න ළං වෙච්ච ගිනි කන්දක් ගානට.
"මොකක්ද ඒ කිව්වේ?ඔයා..ඔයා කියන්න හදන්නේ ඔයා අපේ නිකී අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලද?"
මුතූ ඇහුවේ ටිකක් සද්දෙන්.ඇය දන්නවා සාරංග කවදාවත් ඇයට නොකියා ඒ වගේ දෙයක් කරන්නෙ නෑ කියලා.අනික ශාදිව දකිද්දි ඒ සාරංගගේ තේරීමක් වෙන්න විදියක් නෑ කියලමයි මුතූට හිතුනේ.කාටවත් දැන්ම කියන්න එපා කිව්ව කාරණය ශාදිගෙ මුවෙන් පිට උනේ ඉබේටමයි.දැන් නම් මුතූගෙන්නම් ගැලවීමක් නෑ කියලා ශාදි දන්නවා.
"ආ..මේ..මං..."
ශාදි මුකුත් කියාගන්න බැරිව ගොලු වෙද්දී මුතූ නම් උන්නේ ඉවසීමේ අන්තිම අඩියේ.
"ඇත්තම කියන්න අක්කී.ඔයා නිකී අයියාගේ ගර්ල්ද?"
මුතූ එවර ඇහුවේ ටිකක් සැරෙන්.මිහිරානියි සාරංගයි දෙන්නම කියලා එව්වේ මුතූ එක්ක දැන්මම ඒක කියන්න එපා කියලා.ඒත් දැන් වචන ආපස්සට ගන්න බෑ.තමන් දිහා ඇස් දල්වා බලන් ඉන්න අහිංසායි මුතූයි දිහා බලන් උන්නු ශාදි තොල් පෙරලුවේ වරදක් කෙරුව ගාණට.කසාඳ බඳින්න තීන්දු උනත් සාරංගයි ශාදියි අතරේ තාම සම්බන්ධයක් නෑ.ඒ වගේ හැඟීමක්වත් සාරංගගේ හිතේ නෑ කියලා ශාදි දන්නවා.ඒත් යුවතියන් දෙන්නා ඉස්සරහා එහෙම දෙයක් නෑ කියලා අඟවන්න ශාදිගෙ හිතේ තියෙන්නේ අකැමැත්තක්.
"ඔව්.."
ශාදි කියද්දී අහිංසාට ඉහළට ගත්ත හුස්ම පහළට දාන්න මතක් උනේ නෑ.කළින් තුනියට දැනුනු දුක දැන් හිත අස්සේ දෙගුණ වෙලා.
![](https://img.wattpad.com/cover/337172642-288-k990944.jpg)