04

263 35 13
                                    

"අයියේ!!" උඩමැඳුර වලව්වේ සුදු මැණිකේ, වලව්වේ වත්ත කෙලවරක ඉඳන් වලව්වට දුවගෙන ආවේ එහෙම කියාගෙන.

"මොකද කරගත්තේ සුදු මැණිකේ?" තමන්ගේ නංගිගේ කලබල වෙච්ච කටහඬට ගැස්සිලා ගියපු අයෝධ්‍ය කාමරෙන් එළියට ආවේ, කෙල්ල මොනා කරගෙනද කියලා හිතන ගමන්.

"දෙහි කට්ටක් ඇනුනා.." ඇස් වල කඳුලු පුරෝගෙන එහෙම කිව්ව සුදු මැණිකේ එයාගේ අයියගේ කකුල බදාගත්තේ ඇස් වල කඳුලු පුරෝගන්න ගමන්.

"අනේ ඉතින්.. කෝ පෙන්නන්න අයියට.." අයෝධ්‍ය කිව්වේ සුදු මැණිකේ ඉස්සරහ දණ ගහන් ඒ චූටි අත් දෙක අල්ලගන්න ගමන්.

"මේ.. ලේත් එනෝ.." සුදු මැණිකේ එහෙම කියලා කට ඇද කරගත්තා.

"ඒකනේ අප්පා.. රිදෙනවද ගොඩක්?" අයෝධ්‍ය එහෙම අහන ගමන් සුදු මැණිකෙගේ ඇඟෙල්ලෙන් මතු වෙලා තිබුණ ලේ බිංදුව පිහදාලා දැම්මා.

"රිදෙනවා අයියේ.. සුදු මැණිකෙට ගොඩාක් රිදෙනවා.. අයියේ.. අනේ එන්නකෝ.. මට බයයි.." සුදු මැණිකගේ කටහඬ හැඬීමකට හැරෙද්දී අයෝධ්‍යගේ වටපිටාව වෙනස් උනා.

උඩමැඳුර වලව්වම මල ගෙදරක් වෙලා.. සාලේ මැද්දේ එක පෙලට තියලා තියන මිනීපෙට්ටි තුන දිහා ගල් වෙලා බලාගෙන උන්නු අයෝධ්‍ය වෙව්ලන්න ගත්තේ එයාගේ ඇස් වලින් කඳුලු බේරෙද්දී..

"අයියේ.. සුදු මැණිකෙට රිදෙනවා.."  ඉකි ගහන සුදු මැණිකෙගේ කටහඬ වලව්ව පුරාම රැව්දෙනකොට අයෝධ්‍ය පපුව අල්ලගත්තේ වේදනාව දරාගන්න බැරුව.

"සුදු මැණිකේ!!"

අයෝධ්‍ය ගැස්සිලා ඇහැරුනා..

වේගෙන් ගැහෙන පපුවට අත තියාගත්ත අයෝධ්‍ය ඇස් දෙක පියාගත්තේ එයාවම ස‍ංසුන් කරගන්න අදහසින්. ඇස් දෙක පියාගන්නවත් එක්කම, අයෝධ්‍යගේ කම්මුල් දිගේ කඳුලු පෝලිමක් පල්ලම් බැස්සා..

Iris (අයිරිස්)Where stories live. Discover now