පහුවදා, පොරොන්දු වෙච්ච වෙලාවටත් කලින් කලණ උඩමැඳුර වලව්වට ආවේ ලොකු කවරයක් පිරෙන්න ඉද්ද මලුත් කඩාගෙනමයි. අයෝධ්‍ය හැම ඉරිදම පුරුද්දට වගේ සුදු නෙළුම් මල් මිලට ගන්නවා දළදා හාමුදුරුවන්ට පූජා කරන්න. කලණ අරන් ආපු ඉද්ද මල් වගේම අයෝධ්‍ය මිලට ගත්ත සුදු නෙළුම් මල් දළදා හාමුදුරුවන්ට පූජා කරපු පෙම්වතුන් දෙන්නා පහළ බුදු මැදුරේ ගොඩක් වෙලාවක් වාඩි වෙලා හිටියා. හැන්දෑවේ හය විතර වෙද්දි අයෝධ්‍යව ආපහු උඩමැඳුර වලව්වට එක්කගෙන ආපු කලණව අදත් රෑ කෑමට නතරකරගන්න අයෝධ්‍යට උවමනා වුනා. පොඩි කොල්ලගේ ආරධනාව පිළිඅරන් අයෝධ්‍ය එක්කම වලව්ව ඇතුලට ආපු කලණ සාලේ සෝෆා එකෙන් වාඩිවුනා.
"නැන්දා තාම කෑම හදනවා අයියේ.. තව චුට්ට වෙලාවක් යයි." කුස්සියට ඔලුව දාලා ආපු අයෝධ්‍ය එහෙම කියාගෙන ඇවිත් කලණ ගාවින් වාඩිවුනා.
"කමක් නෑ සූකිරි.. හදිස්සියක් නෑ මට.." කලණ කිව්වේ අයෝධ්‍යගේ කොණ්ඩේ අවුස්සන ගමන්.
"බඩගිනි නැද්ද ඔයාට?" අයෝධ්‍ය ඇහුවා.
"ම්හු.." කලණ එහෙම කියලා අයෝධ්‍යගේ උරිස්සෙන් ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා.
දළදා මාළිගාවේ පත්තු කරලා තිබුණ හඳුන්කූරු වල සුවඳ පොඩි කොල්ලා ගාවිනුත් එනවදෝ කියලා හිතන ගමන් කලණ ලොකු හුස්මක් ගත්තා.. ඔව්.. ඒ සුවඳ ලාවට වගේ අයෝධ්‍යගේ ඇඳුම් වල තැවරිලා තිබුණා..
"සූකිරි.. මට ඔයාට කියන්න දෙයක් තියනවා රත්තරං.." කලණ එහෙම කිව්වේ හදිස්සියේ මතක් වෙච්ච දෙයක් නිසයි.
"මොකද්ද අයියේ..?" අයෝධ්‍ය ඇහුවා.
"හෙට මට කොළඹ යන්න වෙනවා සූකිරි.. සතියක් මට එහෙ යුනිවර්සිටි එකේ නවතින්න වෙනවා වර්ක්ශොප් එකකට.." කලණ කිව්වේ ලොකු හුස්මක් අත අරින ගමන්.
හෙට ඉඳන් දවස් පහක් එක දිගට කොළඹ කැම්පස් එකේ වෛද්‍ය පීඨයෙන් කරන වැඩසටහනකට සහභාගි වෙන්න කියලා ජෞෂ්ඨ කතිකාචාර්ය කෙනෙක් කලණට පණිවිඩේ දුන්නේ අද උදේ. ඒක දැක්ක ගමන් කොල්ලට මතක් උනේ අයෝධ්‍යව.. අවුරුදු තිහත් පැන්නට මොකද, මේ කලණගේ පළවෙනි ප්‍රේම සම්බන්ධේ. පෙම්වතුන් උනා විතරයි, සතියක්ම එයාගේ සූකිරිව දකින්න ලැබෙන්නේ නෑ කියලා මතක් වෙද්දි කොල්ලගේ හිතට හරි නෑ..
YOU ARE READING
Iris (අයිරිස්)
Romanceඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...