"මහත්තයෝ!" වලව් වත්ත බලා කියා ගන්න සමන් මාමාගේ කට හඬ මිඳුල දිහාවෙන් ඇහෙද්දී, අයෝධ්ය කාමරෙන් එළියට ආවේ කියව කියව උන්නු පොත වහලා දාන ගමන්.
"මාමේ?" සමන් මාමට කතා කරන ගමන් අයෝධ්ය වලව්වෙන් එළියට බැහැලා මිඳුලට ආවා.
"කවුද ලොකු මහත්තයෙක් ඇවිල්ලා තරුපති කියලා කෙනෙක් ගැන අහනවනේ. මං කිව්වා මෙහෙ එහෙම කෙනෙක් නෑය කියලා. අහන්නේ නැති හැඩයි මහත්තයෝ." සමන් මාමා එහෙම කියද්දී අයෝධ්ය කල්පනා කරේ එයාගේ නැති වෙච්ච මහප්පව හොයාගෙන ආපු අමුත්තා කවුද කියලා.
අයෝධ්යගේ අප්පච්චි තමයි තේනුවර උඩමැඳුර. එයා තමයි වලව්වේ ලොකු හාමු. තේනුවර උඩමැඳුරට හිටියා නිවුන් සහෝදරයෙක්. ඒත් සුව කරන්න බැරි වෙච්ච පිළිකාවක් නිසා, තරුපති උඩමැඳුර ජිවිතෙන් සමුගත්තේ අයෝධ්ය ඉපදෙන්නත් කලින්. ඒ කියන්නේ, තරුපති උඩමැඳුර අන්තරා වෙලා දැන් අවුරුදු තිහක් විතර වෙනවා.
"කවුද කියලා කිව්වේ නැද්ද?" අයෝධ්ය සමන් මාමගෙන් එහෙම ඇහුවේ ගේට්ටුව පැත්තට ඇවිදගෙන යන අතරේ.
"කැප්පෙටිපොල කියලා කිව්වේ මහත්තයෝ." සමන් මාමා උත්තර දෙනකොට, අයෝධ්ය එකතැනම නතර උනේ ඒ නම ඇහිලා.
කැප්පෙටිපොළ..
ඒ නම අයෝධ්යට හොඳට හුරු පුරුදුයි.. එයාගේ මහප්පා මරණය පෙනි පෙනී රෝහලේ ඇඳක් උඩට වෙලා ලිව්ව දිනපොතේ තිබුණේ ඒ නමේ අයිතිකාරයා ගැන විතරයි.. හැබැයි මේ එයාමද කියලා කියන්න අයෝධ්ය දන්නේ නෑ. කැප්පෙටිපොළ පවුල කියන්නෙත් එයාලා වගේම වලව් පැලැන්තියේ පිරිසක්. ඉතින් එකම වාසගම තියන වෙන අය ඉන්නත් පුලුවන්නේ. ඒත් ඇයි කැප්පෙටිපොළ කෙනෙක් හදිස්සියේ එයාගේ මහප්පව හොයාගෙන ආවේ කියන එක අයෝධ්යට ලොකු ප්රශ්නයක්.
"...සමහරවිට අපේ අප්පච්චිගේ යාලුවෙක් වෙන්න ඇති මාමේ.. මං කතා කරන්නම්කෝ.." අයෝධ්ය සමන් මාමට එහෙම කියලා ගේට්ටුව ඇරියා.
"...තරූ.." Audi වර්ගයේ මෝටර් රථයකට හේත්තු වෙලා උන්නු කෙනා අයෝධ්යව දැකපු ගමන් එහෙම කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.
උඩමැඳුර වලව්වට ආපු අමුත්තගේ වයස අවුරුදු හැටකට ආසන්න ඇති. ප්රතාපවත් පෙනුමක් වගේම උස මහත ශරීරයක් තිබුණ කැප්පෙටිපොළ, එයාගේ තරුණ කාලේ තිබුණු කඩවසම් බවට සාක්ශි අදටත් ඉතුරු කරගෙන ඉන්න කෙනෙක්.
YOU ARE READING
Iris (අයිරිස්)
Romanceඅපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදර...