💋 18 💋

304 40 41
                                    

සනුලි පුදුමයෙන් වගේ ඔහු දිහා බලාසිටියා. පැයකට පමණ පෙර තම පැරණි පෙම්වතා ගැන ඇය සඳහන් කළත්, ඒ ගැන තැකීමක් නොකළ ඔහු ඇයට කවන්නට තීරණය කර තිබුණා. ඇරත් හැන්දකින් බත් කැවීම එතරම් සමීප දෙයක් නොවන බවයි ඔහු තමන්ටම සිතින් කියාගත්තේ.

තමන් කන තෙක් ඔහු මෙසේ බලා ඉන්නා බව තේරුම් ගත් සනුලි ඔහුගෙ ඇරයුම පිළිගත්තා.

" ඔයාගෙ ආන්ටිගෙ කෑම නම් මාර රසයි" නිතරම මෙවැනි රස කෑම නොලබන මහෙන්ස කිව්වෙ තමන් කළ දෙයින් සනුලි අතරමං වී ඇති බවක් ඇගේ මුහුණින් පෙනුන නිසා.

" අයියගෙ හොඳම යාලුවගෙ අම්මලගෙ ගෙදර මම තාම ඉන්නෙ. තැනක් හොයාගන බැරි වුණා තාම"

" ඇනෙක්ස් එකක් ද හොයන්නෙ, රූම් එකක් ද? මාත් අර භූත ක්වාටස් එකක ඉන්නෙ. IELTS කරගන්නත් ඕනෙ, ජොබ්ස් වලට ඇප්ලයි කරන්නත් ඕනෙ. මේව ඔක්කොම මම අත ඇරලා දාලා තිබුණෙ. ඒත් ලබන සතියෙ ආවම පටන් ගන්නවා. ඒ නිසා මාත් ඇනෙක්ස් එකක් හොයාගන්න ඕනෙ."

" සර් නම් දැන් පාරවල් එහෙම දන්නවා ඇතිනෙ. මට තවම ඒවයෙ නම් මතකත් නෑ" කතාව අතරෙ කෑම පෙට්ටිය සෙමෙන් හිස් වන බව දෙදෙනාටම දැනුනෙ නැහැ.

" රොස්ටර් එකට දැම්මට පස්සෙ ඕෆ් දවසක ඇවිදලා බලන්න තනියෙන්. දවල් වරුවෙ ඇවිදින්න නම් ඉතින් ලොකුවට බය වෙන්න ඕනෙ නෑ." ඔහු එහෙම කියන අතරෙ අවසාන බත් කට ඇයට ළං කළා.

" මට ඇති" සනුලි එහෙම කියමින් අසුන්ගෙන සිටි තැනින් නැගී සිටියා.

" එහෙනම් මම කනවා. " ඔහු එහෙම කියමින් කෑම පෙට්ටිය හිස් කළා.

යළිත් යන අතරමග වැඩි කතාබහක් නොවුණත් මහන්සි නිසාම සනුලිට ඇස් පියවුණා.

මහෙන්ස බොහෝ දේ ගැන කල්පනා කළා. අතහැර දැමූ ජීවිතය යළි ආරම්භ කළ යුතුව තිබුණා. ඒ එක්කම අද... මාස ගණනකට පසු අද ඇයව ඔහුට හමුවෙනවා. වසර ගණනක් එක්ව ගොඩ නැගූ කැදැල්ලේ, ලස්සන මතක පාට කරපු කැදැල්ලේ අද ඔහුට හිමි වන්නේ අමුත්තන්ගේ කාමරය. හෝටල් කාමරයක රාත්‍රීන් දෙක ගත කරන්න හිතුවත් , තමන් ගොඩ නැගූ නිවස කියන හැඟීම ඔහුට ඉවතලන්න නොහැකි වුණා. බලාපොරොත්තු සුන් වී, සියල්ල අත් හැර දමන්නට මුලින් සිතා සිටියත්, මං මුලා වී සිටි හිතට අරුත නොතේරුන නමක් නැති මොකද්දෝ බලාපොරොත්තුවක් එකතු වූ නිසාම නිවසත්, ඔවුන් මිලදී ගත් අනෙක් ඉඩමත් දුෂේනිට අත්පත් කරගන්නට නොදී ඒ ගැන නිසි පියවර ගන්න තමන්ට අවශ්‍ය බව ඔහු පෙරදින රාත්‍රියේම තම නීතීඥ මිතුරාට දන්වා සිටියා. මේ ගැන ඇයට දැනුම් දීමත් ඔහුගේ ගමනේ එක් ඉලක්කයක් වුණා.

❤ Burgundy  ❤ ReuploadingTahanan ng mga kuwento. Tumuklas ngayon