සුසුමක ගැබ් වූ වදන්

15 2 2
                                    


කන දෙවනත් කරමින් නැගුණු ගිගුරුම් හඬට චාන්යා තිගැස්සුණේ ඇගේ කනට සම්බන්ධ කර තිබූ හෙඩ්සෙට් එකට සම්බන්ධ වී ඈ අතේ වූ දුරකථනය ද වැරදී ඇගේ අතින් ගිලිහී බිමට වට්ටවමිනි. හෙඩ්සෙට් එක කනින් ගලවමින් ඈ හෙමින් පහත් වී වැටුණු දුරකථනය ගෙන එය ඈ අත වූ ලේන්සුවෙන් පිස දැමුවේ බස් නැවතුම්පොළේ වූ කණුවට ඇල වෙමිනි. ඒත් එක්කම වාගේ කෑලි කැපිය හැකි වූ ඝන අඳුර පරදා මුළු පළාතම ආලෝකමත් කරමින් විදුලි කොටමින් අහස් දෙවඟන ගොරවන්නට වූයේ තිගැස්සී දෑස් විශාල කරමින් වේගයෙන් ගැසෙන හද ස්පන්දනයට සවන් දෙමින් සිටි චාන්යා තවදුරටත් බය කිරීමට සමත් වෙමිනි. මොර සූරන වැස්සේ ගොදුරක් වීමට ප්‍රිය නොකරමින් චාන්යා බස් නැවතුම්පොළේ වහලය යට ට වී සිටිය ද ඈ තවත් පසුපස ට ඇදුණේ හැකි විගස මෙම වර්ෂාව නැවතුණි නම් කෙතරම් අගනේ ද යැයි සිතමින් ය.

සවස 6.30 ට අමතර පන්ති අවසන් වුව ද චාන්යා පැය දෙකක් තිස්සේම කාත් කවුරුත් ගමන් නොකරන මාර්ගයේ පසෙකට වී ඈ සිටියේ එම මාර්ගය හරහා යන අවසාන බසයට නැගී හැකි විගස නිවසට යන අරමුණිනි. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඈ මෙතරම් අඳුරු වූ පසු නිවසට යාම ප්‍රථම අවස්ථාව මෙය නොවුණ ද කෙදිනකවත් නොමැතිව ඈ සිත මෙතරම් චකිතය ට වී ඇත්තේ ඇයි දැයි ඈ නොදන්නාය. එයට හේතුව අඩියක් ඉදිරිපස නොපෙනෙන තරම් වූ අඳුර ද, එසේත් නොමැති නම් නිමක් නොමැති වර්ෂාව නිසා දැයි නොදන්නා බව ඈ සිතුවා ය.

පන්ති අවසන් වූ පසු බස් නැවතුම ට වී දුරකථනයෙන් සින්දු අසමින් සිටි ඈ හට කාලය හඹා යනු දැනුණේ නැත. බොහෝ වෙලාවකට පසු අත් ඔරලෝසුව බලන විට රාත්‍රී 9 ට ආසන්න බව දුටු ඈ එතරම් වේලා නොපැමිණි බසය මින් පසුවත් නොඑනු ඇතැයි සිතා ගිගුරුම් කන වර්ෂාව හමුවේ වුව ද නිවාස බලා ගමන් කිරීමට වූයේ කෙසේ වෙතත් දැන් නිවසට යන විට රාත්‍රී 11 පසුවේ යැයි ඈ හොඳින් දන්නා නිසාය. කෙතරම් වේලා ගත වුව ද ඇගේ නිවසින් ඈ ට එකදු දුරකථන ඇමතුමක්වත් නොලැබීම ගැන ඈ පුදුම වූයේ නැත. ඇගේ මාපියන් ඈ යන එන මඟ පිළිබඳව ද කිසිදු ඇල්මක් නොදැක්වූයේ නිතර දෙවේලේ ඈ ට අවුරුදු 8 ක් වැඩිමහල් අක්කා ගේ හොඳ විතරක් පවසන ඒ මාපියන් ට ඔවුන්ගේ කීමට එකට එක කියන 'චානු' නොහොත් ඔවුන්ගේ චූටි දූ දැන් ඔවුන්ට සිටිය ද නොසිටියාක් මෙන් හැඟෙන බැවිනි. නිතරම අක්කා ගේ ගුණ වයන ඇගේ මාපියන් ඈ නිවසට යන විට පැවසීමට කන් පියවන වදන් ලැහැස්ති කරමින් සිටියි යන බව වේගයෙන් පොළොව වෙත ඇදෙන වර්ෂාව හමුවේ වුව ද සෙමින් සෙමින් කුඩයක් වත් නොමැතිව කාත් කවුරුත් නොමැති පාලු රැයේ තනිවම ගමන් කරන චාන්යා සිතුවාය.

Stories About LifeWhere stories live. Discover now