දෛවය

25 3 2
                                    

රෑ පුරා ඇද හැලුණු වර්ෂාවෙන් පසුව උදෑසන අහස දීප්තිමත්ව පෑයුවේ නව දවසක උදාව මා හට සනිටුහන් කරමිනි. ගස් කොළන් අතරින් එබිකම් කර බලන හිරු රැස් මා ගත සිත පිනවූයේ දින ගණනක් තිස්සේ වැඩ ගොඩ ගැසීමෙන් හෙම්බත් වී සිටි මා හට නව ප්‍රාණයක් ලබා දෙමිනි. උදෑසනම සාමාන්‍ය පරිදි, හිරුටත් පෙරම අවදි වූ මා දුම් දමන තේ කෝප්පයක් හිස් කිරීමේ වගකීම බාරගත්තේ අවට සිරි නැරඹීමට සිතා ගෙනම මිදුලට බැසීමෙනි.

අඳුරට මුසු වූ ආලෝකය අතරින් හිරු රශ්මිය හොරෙන් හොරෙන් මා වත සිපගද්දී මා නෙත් ගැටුයේ පෙර දින වර්ෂාව හේතුවෙන් මා නිවස අසලම වූ කුඩා පැලක වහල යටට වී වරුසාවෙන් ආරක්ෂා වීම උදෙසා එහි නිවහනක් ගෙන සිටි කුඩා මුව පොව්වෙකු හා උගේ මෑණියන්ව ය. රෑ සීතල හේතුවෙන් මෑණියන්ට තුරුලු වී සාන්තව නිදා සිටින මුව පොව්වා දුටු විට මගේ සිත අතීතයට දිව ගියේ මා නොදැනීමයි. මව් සෙනෙහසේ උතුම් බව මොනවට කියාපාන එම දසුන රූ ගත කිරීමට ද මා හට අමතක වූයේ මෙලොව සිදු වන ඇතැම් සිද්දීන් කාටත් හොරා සිදූ වී එය මතකයක් පමණක් ලෙසටම පැවතීමෙන් එම සිදුවීමේ වටිනාකම වැඩි බව මා හට පසුව මතක් කර දෙමිනි.

උණුසුම් තේ කෝප්පය බී අවසන් වුව ද ගත ට දැනුණු සිසිලස මාගෙන් ඉවත් නොවූයේ සත්‍ය වශයෙන්ම මා හට මෙවන් වූ නිදහසක් ලබාදෙන නිවාඩුවක් මා ගත යුතුම වුවක් බව මා හට පෙන්වා දෙමිනි. ඇද හැලෙන මහා වරුෂාවේ එකිනෙක පැරදීමට වෙර දරමින් වැටෙන බිංදු බිංදු ජල අංශු, ජීවිතය යන්නම තරඟයක් වන බව මා හට පෙන්වා දෙනු ලැබීය. වැටෙන ජල බිංදු එකිනෙක පරදා පොළොව වෙතට ප්‍රථමයෙන් සංක්‍රමණය වී ලෝ පොළොවේ අවදානය ලබා ගැනීමට මෙම ජල බිංදු ද ආදරය හමුවේ තම ප්‍රියයන් වෙත ළඟා වීමට දරන තරඟයේ ස්වභාවයම ගන්නාක් මෙන් වන බව මා හට සිහි වූයේ මා මුවඟට හීන් සිනහවක් ගෙන දෙමිනි.

දිනෙන් දින උදේ සිට රෑ වෙනතෙක් මා රැකියාව සමඟම කාලය ගෙවන මා හට ආදරය යන්න වදනකට පමණක් සීමා වූ මායාවක් විය. මාගේ වියෙහි සිටින අනෙකුත් තරුණියන්ට වඩා මා ජීවිතයේ ඉදිරි පෙළෙක සිටියේ අකාලයේ ආදරයේ රැහැනට මා නොවැටුන නිසා විය හැකිය. මා ආදර්ශයට ගන්නා බොහොමයක් දෙනා පවසන්නේ එය වුව ද තමන් කාට බොරු කළත් තම හදවතට කිසි දා බොරු කළ නොහැකිය යන්න මා හට නැවත නැවත වේදනාවෙන් මතක් කර දෙමින් මාගේ මනස මා කනට කර රහසින් කෙඳිරුවේ මා හට ආදරය කිරීමට කාලයක් නොමැත යන්න මා මටම කියා පාන බොරුවක් බවටත් එයට හේතුව මා සිත සොරා ගත් එම නිල්වන් නෙත් යුවල නැවත මා නෙත ගැසෙන මොහොත වෙනතෙක් මා පුල පුලා බලා සිටින බව කොඳුරමිනි.

Stories About LifeWhere stories live. Discover now