මේජර් සර්

5 2 0
                                    

"සර්, යස් සර්," කෝප්‍රල් සමරේ මේජර් අභීත රත්නායක ට ආචාර කර පසෙකට විය.

මේජර් රත්නායක හිස වනා රාජාලියෙකුවන් ඔහුගේ කාලවර්ණ දෙනෙත් රැස් වී සිටි සියලුම සොල්දාදුවන් හරහා යැවීමට වූයෙන් ඔහුගේ උකුසු ඇසට හසුවූ සේවයට ආධුනික සොල්දාදුවන් සිතින් බයින් භිරාන්ත වුවද එය ඔවුන්ගේ මුහුණින් ප්‍රකාශ නොකිරීමට වග බලා ගත්හ. නැවත වරක් පෝලිම් වී සිටි සියලුම සොල්දාදුවන් දෙස ඔවුන්ගේ සිත් චලිත කරවන බැල්මක් හෙළු මේජර් රත්නායක ඔහු පැමිණි ජීප් රථයට නැගීමට ගියේ ඔහු ඊළඟට සහභාගි විය යුතුව තිබූ ප්‍රධාන රැස්වීමට ඔහු ප්‍රමාද වී තිබේදැයි දැනගන්නට වේලාව බලමිනි. අතේ බැඳි ඔරලෝසුව බලමින් ගමන් කළ ඔහු, ඔහු අසළම නවතා තිබූ ජීප් රථයේ විවෘත වී තිබූ දොරෙහි නොවැදී වැදුණේ අනූ නවයෙනි.

සිදුවූ එම අකරතැබ්බයට ලැජ්ජාව ඉහ වහා යමින් තිබූ අභීතගේ මුහුණ රතු වූයේ ආධුනික සොල්දාදුවන් ඉදිරියේ තමන්ට මෙවැනි ඉරණමක් අත්වූයේ මන්දැයි තමන්ගෙන්ම අසමිනි. සිදුවූ අකරතැබ්බයට ලැජ්ජාව තවත් වැඩි වන්නාක් මෙන් අභීතට දැනුණේ ඔහුගේ කන අසලින් ඇසුණු සිහින් සිනා හඬටයි. යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරියෙකු සමච්චලයට ලක් කරමින් ඔහුට අපහාස කරනවාක් මෙන් සිනහවන්නට තරම් ශක්තිමත් මනසක් තිබූයේ කුමන සොල්දාදුවාටදැයි බැලීමට අභීත නැවත ඔවුන් දෙස හැරී, ඔවුන් දවා අළු කරවන බැල්මක් හෙළු නමුදු ගල් ගැසුණාක් මෙන් නිසොල්මන්ව සොල්දාදුවන් දුටු අභීතගේ ඇහි බැමි හැකිලුණේ මවිතයෙනි. ඉතා අමාරුවෙන් ගිලීමට තැත් කළ සිනහව නැවත එළියට පැනුනු සැනින් අභීත පසුපස හැරුණේ මෙවර ඔහුට සමච්චල් සහගතව සිනහවන පුද්ගලයා කවරෙක්දැයි අතටම අල්ලා ගැනීමටය.

හමුදා ආරක්ෂක මුරපොළට ඉදිරියෙන් තිබූ බස් නැවතුම්පොළේ සිටි තිදෙනෙක් අභීතගේ ඇස ගැටුණි. හමුදා මුරපොළට පසුපස හරවමින් සිටි ඔවුන්ගේ උරහිස් සෙලවෙන ආකාරයෙන් එම සමච්චල් සහගත සිනහවේ අයිතිකරු කවරෙකුදැයි අභීත නිශ්චිත කරගත්තේය. නැවත සොල්දාදුවන් දෙස හැරුණු අභීත කෝප්‍රල් සමරේට අතින් සංඥා කළේය.

"ගිහින් එයාලගේ අයිඩෙන්ටි එක බලනවා," ඔහු සිහින් හඬින් අණ දුන්නේය. මේජර්වරයාට ආචාර කර තවත් දෙදෙනෙකු සමඟ කෝප්‍රල් සමරේ පාර මාරු විය. අනික් සොල්දාදුවන්ට ඔවුන්ගේ කාර්යභාරයේ නියුතු වන්නට අණ දුන් මේජර්වරයා ඔහුගේ බෙරෙට් තොප්පිය නැවත වරක් කෙළින් කර අව් කණ්නාඩිය නැහැයේ ඉහළට තල්ලු කර සිරුර ඉදිරියට බර කර දෙපස බලා ඉක්මන් ගමනින් පාර මාරු වූයේ තමා හට සිනහ වූ එම පුද්ගලයාට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතාය.

Stories About LifeWhere stories live. Discover now