සීත රාත්‍රියේ ගස් කොළන් නිවහනක් කර තිබූ සිය දහස් ගණනක දිදුළන පිනි බින්දු එම ගස් කොළන් අතරින්ම හැංගි හැංගී ඔවුන් සිප ගන්නට සැරි සරන හිමිදිරි උදෑසන හිරු රශ්මිය හේතුවෙන් සිතට කාංසාවක් නොදී පුපුරා යන්නට වූයේ සොබා දහමේ අපුර්වත්වයේ වර්ණ මා හට පසක් කරමිනි. දිනපතා අලුයම හිරු අවදි වීමටද පෙර අවදි වී නිවසේ අයවලුන්ගේ ඔවුන්ට අවශ්‍ය කාර්ය භාරය ඉටු කර අවසන් කිරීමට පුරුදු වී සිටි මාහට දිනපතා උදෑසන කට කොනට සිනහවක් ගෙන දෙන්නේ ද මෙම ප්‍රේමාන්විත ලෝ ස්වභාවයේ සත්‍යය කියා පාන සීත දසුන්ය.
වැටකෙයියා පඳුරට සාත්තු කිරීමෙන් පසුව මා නිවසට ගොඩ වූයේ නංගිලා මල්ලිලා ට උදෑසන ආහාරය පිළියෙළ කිරීමටය. පවුලේ වැඩිමල් පුත්‍රයා වී සිටි මා හට ලොකු නංගි නිවුන් නංගි හා මල්ලි හා පොඩි මල්ලී කෙනෙකු සිටිය ද ඔවුන්ගේ දඟකාර වියට අනුව ඔවුන් කරන සියලු දඟ වැඩ දිනපතා මා දර සිටින්නේ අම්මෙක් අප්පෙක් නොමැතිව දිනෙන් දින වයසට යන එම දරුවන්ට සෙනෙහස පෑමට සිටින්නේ පවුලේ ලොකු අයියා වූ මා පමණක් ම වන බව මා හොඳින් දන්නා නිසාය. වසර 6 කට පමණ පෙර වූ එක අවාසනාවන්ත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අපට වුයේ දිනපතා අප රස නහර පිනවන ආහාර සකසා දුන් මෑණියන් හා උදේ සිට සවස් වනතෙක් ගලා යන එක් එක් දහදිය බින්දුවක වත් වටිනාකම කියා නොපාන, මහන්සි වූ පමණට ම වැටුපක් ලබා ගත නොහැකි ව උපයා ගත සොච්චමෙන් වුව ද අප කුස පිරවීමට සමත් වන පියාණන්වද, එම අඳුරු රාත්‍රියේ අලියෙකු ගේ බරැති පාදයකට යට වී දෙව්ලොව යාම ට සිදු වූ නිසා අනාථ දරුවන් වීමටය. මාපියන් අප අසරණ කර මෙලොවට සමු දුන් විට මා 14 වන වියේ පසු වුවත් නිවුන් නංගි හා මල්ලි 4 වැනි වියේ හා ලොකු නංගි 6 වුව ද පොඩි මල්ලී වුයේ අවුරුදු එකක් වියැති ළදරුවෙකි. මාපිය වියෝවෙන් පසුව පාසල් යාම ක්‍රම ක්‍රමයෙන් අඩු කළ මම මාස දෙකකට පමණ පසුව එය සම්පුර්ණයෙන්ම නැවත් වූයේ මා පාසල් ගමනටත් වඩා මාගේ නංගිලා මල්ලිලා රැක බලා ගැනීම පවුලේ වැඩිමලා වූ මාගේ කර මත පැටවුණු භාරය ඉවත් කළ නොහැකි වූ නිසාය. අත දරුවා වූ පොඩි මල්ලීගේ වැඩ කටයුතු අසල්වාසී නැන්දාගේ උදව්වත් සමඟම මා ඉටු කළ ද අනෙක් බාලයන්ගේ වැඩ කටයුතු ඉටු කරවීම සඳහා අන් අයගෙන් උදව් පතන්නට මා උත්සුක නොවූයෙමි. 14 වැනි වියේ පසුවන මා හට කුඩා දරුවන් සමඟ වැඩි අත්දැකීමක් නොවූව ද ලොකු නංගිලා හා මල්ලිගේ වැඩ කටයුතු සිදු කිරීමේදී අම්මා ට උදව් කල බැවින් එම මතකයෙන් පොඩි මල්ලි හද ගත්තෙමි. මගේ බාල සොයුරු සොයුරියන් හදා ගැනීමට ගමේ අයවලුන් කෙතරම් ඇසුව ද මා එයට එකඟ නොවුයේ ඔවුන් නිවසින් පිට කර හැරිය පසු ඔවුන්ට සිදුවන අකටයුතුකම් වලට එරෙහිව ඔවුන්ගේ ලොකු අයියා ලෙස මට එවිට නැඟී සිටිය නොහැකි බව මා සිතූ නිසා ය. කෙසේ වෙතත් මා 9 වන ශ්‍රේණියෙන් සමු දී එදින පටන් මා ක්‍රියා කළේ මා උපයන සියලු සතයක්ම නංගිලා මල්ලිලා වෙනුවෙන් වියදම් කිරීමට සිතා ගනිමිනි. මට අවශ්‍ය වූ එකම දෙය නම් මා අධ්‍යාපනය නතර කළ ද මාගේ සොයුරු සොයුරියන් ට අධ්‍යාපනය ලබාදී ඔවුන් සමාජයේ ඉහළ ස්ථානයකට ගෙන යාමටය. සමාජයේ ඉහළ ස්තර වලට ගමන් කිරීමේ දී මිනිසුන්ගේ චේතනාවන් වත් පිළිවෙත් වෙනස් වන බව මා දැන සිටිය ද අනාගතයේදී මාගේ නංගිලා මල්ලිලා එසේ නොකරනු ඇති බව මා සිතමි. ඔවුන් එසේ කළ ද එවිට මා හට කිරීමට කිසි දෙයක් නොමැති නිසා එවන් වූ පසුබිමකට වුව ද ශක්තිමත්ව මුහුණ දීමට මා දිනෙන් දින සිත සාදා ගන්නෙමි.
YOU ARE READING
Stories About Life
Short StoryA collection of short stories that celebrates the beauty of life... The stories are available in both Sinhala and English languages. All of my Sinhala stories are dedicated to my friends and their friends and to all Sri Lankans! Start : 18th of Apr...