මිනිසත්කම

7 2 2
                                    

"නගින්න ! නගින්න ! ඉක්මන් කරල නගින්න !"

"ඉස්සරහෙන් එපා ! පිටිපස්සෙන් නගින්න !"

කන දෙවනත් කරමින් කොන්දොස්තරවරයා මා කන අසළම සිට යටි ගිරියට පණ දෙද්දී මා ඉක්මන් ගමනින් බසයට නැඟ දෙපස නැවත නැවත බැලුවේ කොන්දොස්තර මහතා කියූ ලෙස හිස් සීට් කොතැනක තිබේ ද කියා ය. ගිනි තපින තද අව් රශ්මියේ සවස 05 ට කාර්යාලය අවසන් වූ සැණින් මා පය ඉක්මන් කරමින් බස් නැවතුම්පොළ ට පැමිණිය ද වෙනදාටත් වඩා විනාඩි 25 ක් පරක්කු වී පැමිණි බසයට මා ගොඩවූයේ කොළඹින් පිටත් වූ බසය ගාල්ල ට ළඟා වන විට හොඳටම රෑ බෝ වී තිබිය හැකි බව දැන ගෙනම ය. කෙතරම් රෑ බෝ වුව ද, මා හට නිවසට යාම අනිවාර්යය වූයේ මෙය අලුත් අවුරුද්ද බලා නිවසට නිසාවෙනි.

බරැති ලැප්ටොප් බෑගය ද පිට මත දමා, මා ආසනයක් ලැබෙන තෙක් රියදුරු ආසනය අසළට ම වී රාක්කය දිගේ දිවෙන පොල්ල තදින් අල්ලා ගෙන සිටියේ වියරුවෙන් මෙන් බස් රථය ධාවනය කරන රියදුරු දෑතට දෙවි රැකවරණය ලැබේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමිනි. අහු මුළු නොපෙනෙන තරමටම මගීන් ගෙන් පිරී තිබූ මෙම බස් රථය දකින විට වෙනදාටත් වඩා අද දින කොන්දොස්තර මහතාගේ දත් දෙපළ දිළිසෙන්නට විය.

"ඔහොම යං ! ඔහොම යං ! ඉස්සරහටම යං !"

කොන්දොස්තර මහතා බසය පිටුපස සිට කියනු ඇසී, හෙලවීමටවත් ඉඩ නොමැති ව පිරී ඇති බසයේ කෙසේ ඉදිරියට යම් දෝ යි සිතා දෝ මගීහු එකිනෙකා දෙස බලා මුමුණන්නට වන්හ.

බසය පිටුපස ම සිට ඉදිරියට දෑස් ගෙන එද්දී මා නෙත ගැටුණේ ඔසවා ගත නොහැකි බෑගයක් ද ඔසවා ගෙන රැළි වැටී ගිය සමකට හිමිකම් කියමින් පැරණි වී දිරී යාමට ඔන්න මෙන්න අවස්ථාවේ වූ සායක් සහ ඒ මත පිරිමි පුද්ගලයෙකුගේ විය හැකි යැයි අනුමාන කළ හැකි පැරණි අත් කොට කමිසයක් ඇඳි කාන්තාවකි. ඈ හට බොහෝ වේලා සිටගෙන සිටීමට නොහැකි කමක් ඇති බව මා හට ඉඟියෙන් වැටහිණි. එහෙත් මා හට වැටහුණු ඒ දේ, ඈ අසළ ම වූ ආසනයේ වාඩි වී ඈ දෙස වරදවා හෝ බැලීම මඟ හරවා ජනේලයෙන් පිටත බලා කල්පනාවේ බරවී සිටීමට මුහුණේ මාංශ පේෂී පිහිටුවන තරුණ කොලුවා ට වැටහුණි නම් ඒ කාන්තාවගේ වේදනාව යම් තාක් දුරට හෝ සමනය විය හැක. අවුරුදු 25 ක් පමණ වියැති එම තරුණ කොලුවා හොඳින් ඇඳ පැළඳ ගෙන දුරකථනය ඔබමින් ජනේලයෙන් පිටත බලා සිටින අයුරු ඒ අසළ සිටි කාන්තාව දුටුව ද එක් අතකින් කිලෝ 20 ක් පමණ බරැති බඩු දමා තිබූ බෑගයක් අල්ලමින් එය කකුල් දෙකින් ද තද කර ගනිමින් අනික් අතින් බසයේ ආසනයක් අල්ලා ගෙන සිටියේ මුහුණ පුරා ගලන දහදිය බිඳු සමඟ මිශ්‍ර ව කඳුළු බිඳු ද හැළෙනවා දෝ යි කියා අසමිනි. කොණ්ඩය පුරාවටම ජෙල් තවරා ඇති එම තරුණ කොලුවා ට අධ්‍යාපනය පිහිටුවා තිබිය හැකි වුව ද හොඳින් අධ්‍යාපනය පමණක් ඉගැන් වූ පාසල හොඳ ගති පැවතුම් ඉගැන් වූයේ නැත්තේ මන්දැයි නොවැටහෙන්නේය.

Stories About LifeKde žijí příběhy. Začni objevovat