" තූති අප්පත්ති......... තූති අප්... "
වීරන්කෙඩුව වලව්වේ ලොකු මැණිකෙගේ මිනී පෙට්ටිය ඉස්සරහින් මයෙ හාමු මහත්තයයි ලොකු බේබියි අල්ලගෙන ඉස්සර වෙද්දී මායි දෙනුවනුයි ඒ දෙන්නගේ පිටිපස්සෙන් පෙට්ටිය අල්ලගෙන ඉස්සරහට ගියා. තාම වලව්වේ කඩුල්ලවත් අපි ඉස්සර කරේ නැහැ. ගමේ කට්ටිය හෝ ගාලා පිරිලා හිටියා. එක පාරටම මයෙ පැටියා හයියෙන් කෑ ගහද්දි හාමුයි මායි දෙන්නම බැලුවේ ලොකු හාමුගේ අතේ එල්ලිලා ඉන්න පැටියා දිහා. දෙවැනි පාරටත් පැටියා මට කතා කරන්න යද්දි එතැන්න දුවගෙන ආවේ රාහුල්. දිනුල මහත්තයත් අපිට පිටිපස්සෙන් ලොකු මැණිකෙගෙ පෙට්ටිය උස්සනවා. අද මුළු වලව්වම සුදු ඇදුමින් සැරසුණු මිනිස්සුන්ගෙන් පිරිලා. කඩුල්ල පහුවුණත් හරි පෙට්ටියෙන් ආපු බර අපෙ උරහිස් වලට මහ ගොඩක් දැනෙද්දී මන් අත් දෙකෙන්ම තදේට පෙට්ටිය අල්ල ගත්තා
" කෝ දැන් දාන්න පරිස්සමට. ආ හරි හරි "
කට්ටිය එක්කහු වෙලා සොහොනේ වලට පෙට්ටිය දාද්දි මන් පොඩි දෙන්නත් අතින් අල්ලන් ටිකක් එහාට්ට වෙන්න හිටියා. මයෙ දකුණු අතේ නුරාද එල්ලිලා ඉද්දි අනිත් අතේ රාහුල් නහය අස්සට ඇගිල්ල දාලා ලොකු වැඩක් කර කරම ඉස්සරහ වෙන දේවල් බලන් ඉන්නවා.
" රාහුල් දැන් ඇති නහය අස්සට ඇගිල්ල දාන් හිටියා "
" හලි හලි අලේ. සොතු කාල්ලක් තිබ්බා "
" තුති අප්පත්ති වදා. මදෙ කකුල් සිදෙනවා "
කොල්ලා ඇඹරි ඇඹරි මට කියද්දී එහා පැත්තේ හිටපු රාහුල් ආවේ පැටිය ළගට.
" කෝ එන්ත මන් ඔලාව වදා ගන්ත. තුති අප්පත්ති ඕන්නෑ අලේ "
" දෙන්නම මෙහෙට්ට ඇවිල්ලා මෙතැනින් ඉද ගන්න. මයෙ කකුලුත් රිදෙනවා පැටියෝ "
ඇත්ත ඉතින්. වලව්වේ ඉදලම සොහොනට වෙනකම් පෙට්ටිය උස්සන් ආවේ පයින්ම තමයි. මන් පැටව් දෙන්නම ඒ හරියෙ වෙන්න තිබ්බ ගලක් උඩින් වාඩි කරවලා කමිසේ බොත්තම් දෙක තුනක්ම ගැලෙව්වා. බැනියමක් ඇදන් ආවේ අපරාදේ කියලා හිතෙනවා ඇගෙන් වතුර වගේ දාඩිය ගලද්දී. කොහෙද ඉතින් මයෙ හාමු මහත්තයා හින්දා බෑ නෙ
YOU ARE READING
අත් වැරැද්ද ( Completed )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -