21

386 72 161
                                    

තම මුහුණ මත පතිත වන දීප්තිමත්, රන්වන් සැඳෑ හිරු කිරණ වෙත මඳ සිනා පාමින්, දනිඳු රෝහල් කොරිඩෝරය ඔස්සේ ඉදිරියට පිය නැඟූයේ, එක්තරා කාමරයක් ඉදිරියේ නතර වූයේය.

රෝහල් කාමරය මේ වන විට තවත් රෝගියෙකු සඳහා සූදානම්ව පැවති අතර, එහි වූ මිටි ලාච්චු කබඩය මත වූයේ වෙද නලාවකි. එය අතට ගත් දනිඳු, කාමරය සිසාරා බැල්මක් හෙළා, සිතට නැඟුණු අදිසි සිතිවිල්ලක් මත ඇඳ යටට අත යැවීය. ඔහු අත පිටතට ඇද ගනිත්ම, ඔහුගේ අතැඟිලි අතරට පැටලී ආයේ කළු පැහැති, විශාල බොත්තමක් පමණ වන, මඳක් ඝනකම් වස්තුවකි.

එය උනන්දුවෙන් නිරීක්ෂණය කළ හෙතෙම, එය සාක්කුවකට දමා ගත්තේ, රෝහල් කාමරයෙන් පිටතට පැමිණියේය. 

ඒ හාම ඔහු දුටුවේ හැඩිදැඩි, මේරූ පෙනුමකට උරුමකම් කී මුත් තම වයසෙහිම පසුවන බවක් පෙනුණු,  මුරණ්ඩු, තද පැහැ හිසකෙසින්, තද අඟුරු පැහැ දෑසින්, පැහැපත් සමකින් හා පිරුණු දෙතොලින් හෙබි, තරමක් ආකර්ශණිය මුත් සටකපට බවක් දැරූ තරුණයෙකි.

"තේවක?" ඔහුට කියැවුණේ නිරායාසයෙනි. ඔහු රෝහල් කාමරය වෙත බැල්මක් හෙළුෑයේ, අකුණු සරයක ආලෝකය පැතිර යාමට ගත වන වේගයෙන් සියලු කාරණා වටහා ගත්තේය.

තේවක කාමරය වෙත පැමිණීමට ප්‍රථම, දනිඳු ඔහුගේ මඟ හරස් කළේය.  

"මොකද මේ?" තේවක ඔහු දෙස බැලූයේ නොරිස්සුමෙන් වුවත් ඊළඟ මොහොතේ නොරිස්සුම අතුරුදන්ව උපහාසාත්මක බැලුමක් ඔහුගේ දෑස්හි නැඟුණි. "අහ්, මේ තමුන් නේ, පව්කාර හාදයා!"

දනිඳුගේ මුවඟටද පෙරලා සිනාවක් නැඟුණි. "කොහොමද ඉතින්, තේවක? මම හිතන්නේ නෑ... අහිංසක ජීවිත විනාශ කරන එක පිං අතේ වැඩක්ය කියලා."

"තමුසෙව සස්පෙන්ඩ් කරපු එකමයි හොඳ. ⁣නැත්නම් අපේ ඉස්කෝලේ තවත් කොල්ලෝ කී දෙනෙක්ට ඔය පිස්සුව බෝ කරයිද තමුන්?" තේවක මුවඟින් සිනාසෙමින් කීය. "සතුටුයි ඒ කාරණේ එළි කරන්න ලැබුණ එකට, දුකයි මුළු ඉස්කෝලෙම ඒ කාරණේ දැන නොගත්ත එකට."

"තේවක, තමුන්ට මගේ කකුලෙන් එකට දහස් වතාවක් අඳින්න පුළුවන්. ඒත් ඒ හැමපාරම මම ආයෙත් නැගිටිනවා, මගේම ශක්තියෙන්. ඒ නිසා තමුන් මොනවා කළත් මට කමක් නැහැ." දනිඳුගේ බැල්මෙහි වූයේ ඕනෑම අයෙකු යටපත් කළ හැකි තරමේ සංයමයකි, සන්සුන් බවකි.

The Black Gang (GirlxGirl)Where stories live. Discover now