පොඩි නිලමෙ ඈතින් ආවා ආවමයි ඇයිද මන්දා රවාගෙනම මාවත් පහු කරන් ගියා... වෙනදට මොනා වුණත් කොච්චර කළත් හිනා වෙලා යන මනුස්සයා නෙව!
ඒ එක්කම වගේ කන්න බොන්න ලෑස්ති වෙච්ච හැමෝම වගේ හිටගත්තෙ පොඩි නිලමෙට ආචාර කරන්න වෙනකොට මාත් ඒ එක්කම හිටගත්තා...
"අනේ මාමෙ මං ආවට මොකද, ඉඳගන්න ඉඳගන්න" එතන හිටපු වැඩිමල්ම මාමා කෙනෙක්ගෙ උරහිසකටත් අත තියලා පොඩි නිලමෙ කියද්දි ඒ මාමා වගේම අනිත් අයත් ආයෙම ඉඳගෙන ඇඟට ශක්තිය ගන්න කෑමවලට වගකියන්න ගත්තා...
පුහ්! අපිත් එක්ක කතා කරන්න තමයි බැරි... මොකද යකෝ මේ කාලගුණේ වගේ! ඕවා තමා ඉතින් වලව්වෙ ලොකුකම් ඇඟට ගැහුවාම වෙන්නෙ! කොහෙද ඉතින්, මහ කුමාරිහාමිගෙම මුණුබුරානෙ!
ඒ අතරෙ මං දැක්කා ඇඹුල ගෙනාපු නැන්දලා කට්ටිය පොඩි නිලමෙටත් බත් පතක් නෙළුම් කොළේකට බෙදලා දෙනවා... නෙළුම් කොළෙත් අතට ගත්ත පොඩි නිලමෙ එතනින් හැරිලා එන්න ගත්තෙ අපි හිටපු දිහාවට...
අප්පටසිරි! ඇත්තටම එනවා නේද මේ පැත්තට! මං හිතුවෙ හැරිලා වෙන තැනකට යයි කියලා! රවාගෙනත් එක්කලා එන්නෙ! මං මොකක්වත් වැරැද්දක්වත් කරාද ඈ?
නෑනෙ?
"රංගනාත්!" වෙනදට රංග කියලා කතාකරන පොඩි නිලමෙ අද මට රංගනාත් කියලම කතා කරද්දි මගේ හිතේ තිබ්බ සැකේ තවත් වැඩි වුණා... ඇත්තටම මං මොකුත් වැරැද්දක් කරාද අප්පා?
මං ඒ පමාවට දඩි බිඩියෙ නැගිටගත්තෙ හිතට හරි නැති ගතියකුත් ඒ එක්කම දැනෙනකොට... මෙහෙම පොඩි නිලමෙ මා එක්ක අමනාපෙන් කතා කරන්න මොකද්ද වුණේ කියලා මට හිතාගන්ට බැරුව හිටියෙ... පොඩි නිලමෙගෙ හිත රිද්දන්ට තමා මං අකමැතිම... මොන දේ කරත්, මොන වැඩේ තිබ්බත්, කොයි වෙලෙත් මගේ උදව්වට කියලා ඉන්න මහාමේරුවක් විතර හිතක් තියෙන මනුස්සයෙක් නෙව පොඩි නිලමෙ... මට වඩා අවුරුද්දකින් විතරක් යාන්තං වැඩිමල් වුණත් මොකද, පොඩි නිලමෙ මං ගැන නිතරම හොයලා බැලුවෙ වැඩිහිටියෙක් වගේ...
"නි- නිලමෙ, කියන්ට..." මම නිලමෙගෙ මූණ දිහා නොබලා ම බිම බලාගත්තෙ කකුළෙ මාපටැගිල්ලෙන් බිංකුණ්ඩෙක් වගේ පොළව පහුරු ගාන ගමන්මයි...
YOU ARE READING
ලන්දේ උකුල උඩ | Sinhala BL
General Fictionපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...