කේනුගෙ පුංචි පවුල ඇතුලේ හිටියෙ එයයි අම්මයි, තාත්තයි විතරයිනෙ. ඉතින් ඒ නිසා එයාගෙ ලෝකෙ වීරයා වෙච්ච තාත්තගේ වෙනස් වීම කොල්ලට දරා ගන්න බෑ.එයා දැක්ක අම්ම හිටියෙත් ලොකු කල්පනාවක. තාත්ත ඒ දෙන්න එක්ක වැඩි කතා බහක් කරෙත් නෑ. ඒක නිකන් නෑවිත් බැරි කමට ආව ගමනක් වගෙයි තාත්ත හැසිරුණේ.
ඉරිදා කේනුට පන්ති වෙලාවටම තමයි ආයුලාටත් පන්ති තිබ්බෙ. කේනු බස් එකට යන්න ගේට්ටුවෙන් එළියට එද්දී ආයු එතනට වෙලා බලන් හිටියේ කේනු එයාව මගාරින නිසාමයි.
"මොකෝ අදත් මාව දාලා පාරට යන්න නේද හැදුවෙ උබ"
"තමුසෙට ඉතින් දැන් මගෙන් වැඩක් නෑනේ අයියෙ"
"ශනායා එක්ක කතා බහ කරද්දි උබව ලඟ තියා ගන්න බෑනෙ කේනු, මං උබට එදත් කිව්වනේ"
"මං කැමති නෑ අයියෙ තමුසෙ ඒකි එක්ක කතා කරනවට, මං දන්නවා ඒක ආත්මාර්ථකාමී දෙයක්. මට අයිතියක් නෑ තමුසෙගෙ ජිවිතේට ඇගිලි ගහන්න. ඒ උනාට හැමදේම අමතක කරලා වෙනද වගේ ඉන්න මට බෑ, තමුසෙව වෙන කාටවත් දීලා හිත හද ගන්නත් මට බෑ ඕයි"
"ඔය හිතේ තියෙන මනස්ගාත නැති කර ගත්තොත් අපිට ඉස්සර වගේ ඉන්න පුළුවන් වෙයි බං"
"ඒක මනස්ගාතයක් නෙවෙයි සුදු අයියෙ. මගෙ හිතේ තමුසෙ ගැන තියෙන හැඟීම එහෙම බාල්දු කරන්න එපා"
"මං දන්නෙ නෑ කේනු මොනව කියන්නද කියලා. උබ පොඩි කාලේ ඉඳන්ම මගේ සහෝදරයා වගේ හිටපු එකා. මං දන්නෙ එච්චරයි"
"මට පොඩිම හරි බලාපොරොත්තුවක් තියා ගන්න බැරි වෙයිද"
"මං හිතන්නේ නැහැ"
"තමුසෙ හිතන්නේ මං මේක ලේසියෙන් අත අරී කියලද"
"කේනූ......"
"ගොරවන්න එපා ඉතින්, අන්න යුකී අයියලත් ඇවිත්"
කේනු ආයුගෙ අතින් ඇදන් බස් හෝල්ට් එක පැත්තට එනවා දැක්ක යුකී සිහත් දිහා බලන් හිනා උනා.
"මේ මරා ගන්නවා මේ යාළු වෙනවා, ඕකුන් දෙන්නට වැඩි කාලයක් ඈත් වෙලා ඉන්න බෑ බං"
සිහත් කියද්දි යුකීත් ඔළුව වනලා ඒක අනුමත කරා.
"මේ මරා ගන්නවා මේ යාළු වෙනවා, හරියට ගෑණියි මිනිහයි වගේනේ බං"