අද උදේ කඳුකරේට ටිකක් තදට මීදුම බාපු දවසක්. අම්මගෙ කටේ බලේටම කම්මැලි කමේ නැගිට ගත්ත කේනු ඉක්මනින් ලෑස්ති උනේ පරක්කු උනොත් සුදු අයිය එයාව දාලා යයි කියල බයේ. ප්රිෆෙක්ට් කොල්ල පරක්කු වෙලා යන්න කැමති නෑනෙ.
ආයු ලෑස්ති වෙලා කැප් එකකුත් දාගෙන එළියට බැස්ස. ගේට්ටුවෙන් එළියට ඇවිත් එයා කේනුලගේ ගේට්ටුව ළඟට ගිහින් බලන් හිටියෙ කේනු එළියට බහිනකන්. මොකද පින්න හොඳටම තිබ්බත් ඒ යකා කැප් එකක් වත් නැතුව එළියට පනිනවා කියල ආයු හොඳටම දන්නවා. හිතුවා වගේම පොඩි නසරාණියා ගෙයින් එළියට බැස්සෙ තොප්පියක් වත් නැතුව.
ආයු හැදුවෙ කේනුට බැනලා ගෙට යවලා තොප්පියක් අරන් එන්න කියන්න. ඒත් එයා කට අරින්න කලින්ම කේනුගෙ අම්ම කට ඇරිය.......
"අනේ මේ ළමයට නම් කට කැඩෙනකන් කිව්වත් වැඩක් නෑනේ. මං උදෙත් කිව්ව නේද බබා කැප් එක සාලෙ ස්ටූල් එක උඩින් තිබ්බා දාගෙන යන්න කියල"
කේනුගෙ අම්ම සකුන්තලා ඇවිත් ඒකට බැන බැන අයිස් කැප් එකක් දැම්ම. ඒකත් මෝඩ පහේ හිනාවක් අම්මට දීලා දුවන් ආවේ ආයු ළඟට.
"ගුඩ් මෝනින් සුදු අයියෙ..... මොකද අනේ රවන්නේ"
"මෙච්චර පින්න තියෙද්දී කැප් එකක් වත් දාගෙන එළියට බහින්න දන්නෙ නැද්ද සුදූ"
ආයු එහෙම කියාගෙන කේනුට ලංවෙලා අයිස් තොප්පිය කන් දෙකත් එක්ක වැහෙන්න හැදුවා. ඒ අතරේ කේනු හරි ආදරෙන් ආයු දිහා බලන් ඉද්දී ටිකකින් ආයුත් දැක්ක ඒ බැල්ම. හිතට ලොකු බරක් දැනෙද්දි ආයු ඉස්සර වෙලා ඇවිදින්න ගත්තේ කේනුත් ඒ එක්කම ඇවිත් එයාට සමාන්තරව අඩිය තියද්දි......
අදත් ඉතින් පින්න වැඩි දවසක් නිසා සුපුරුදු විදියටම බෝමියට උනේ පාර්සලයක් වගේ එතෙන්න. ඒ කරලා අම්මත් එක්ක බස් හෝල්ට් එකට එද්දි යුකී වෙනදට වඩා උවමනාවෙන් මේ පාර්සලේ දිහා බලන් ඉන්න ගත්තා. බෝමියා ඉතින් කොහොමත් එන්නේ යුකී දිහා බලාගෙනනෙ, ඒ නිසා ඒ බැල්ම දැක්ක ගමන් කොල්ලගේ මූණ රතු වෙලා ඇස් දෙක බිමට හැරවුණා......
ආයුලගේ ගෙදරට යන පාරයි ඊට චුට්ටක් ඉස්සරහින් යුකීලගේ, බෝමිලගෙ ගෙවල් වලට යන පාරයි අතර මැද බස් හෝල්ට් එක තිබ්බ නිසා මේ හැමෝම උදේට එකතු වෙන්නේ එකම තැන. සිහත්ට වෙන තැනකින් බස් එකට නගින්න පුළුවන් උනාට එයත් ෂෝට් කට් එකකින් යුකීලගේ ගේ ළඟට ඇවිත් යුකී එක්කම පාරට එනවා.
![](https://img.wattpad.com/cover/372610379-288-k452695.jpg)