නේහලාගෙ ඉස්කෝලෙ තිබ්බෙ පුංචි කඳු ගැටයක් උඩනේ. ඉතින් ඉස්කෝලෙට පහලින් පේන වටපිටාව ලස්සනට පේනවා.
මේ වෙලාවේ බෝමි හිටියෙත් ඒ ලස්සන විඳින ගමන්. හැබැයි හිතේ දුකක්, බරක් තියාගෙන.
පුස්තකාලයට වෙන් වෙච්ච පීරියඩ් එකේදි පුස්තකාලයට ආව නේහල ඉඳ ගත්තෙ ජනේලයක් අයිනෙ තිබ්බ මේසෙ. පුරුදු විදියටම නේහ පොතක් අරන් ඒ අස්සේ ගිලිලා අතරමං වෙද්දි කේනු බොරුවට පොතක් පෙරල පෙරලා කල්පනා කරන්න ගත්තා. ආයුව කොයි වෙලේ එයාගෙන් ගිලිහෙයිද කියන බය කේනුට වද දෙනවා.
බෝමි ඉඳ ගත්තේ ජනේලේ අයිනෙම පුටුවේ. එයත් පොතක් අතේ තියන් එළිය බලන් ලොකු කල්පනාවක....
"ළමයි.... මං ටිකකට ඔෆිස් එකට ගිහින් එන්න යනවා. කෑ කෝ ගහල අහු වෙන්න එපා කවුරුත්. පාඩුවේ පොතක් බලාගෙන ඉන්න"
පුස්තකාලේ ඉන්න මිස් එහෙම කියාගෙන නැගිටලා යද්දි කල්පනාවෙන් මිදුණු කේනු යාළුවෝ දෙන්න දිහා බැලුවා. එකෙක් පොතක් අස්සේ තියෙන කතන්දරේක ගිලිලා, අනිකා ජනේලෙන් එලිය බලන් ලොකු කල්පනාවක ගිලිලා. බෝමි අද වෙනදට වඩා වෙනස් කියල කේනුට උදේ ඉඳන්ම තේරිලා තිබුණු නිසා එයා බෝමිට කතා කරා.....
"බෝමි..... බෝමි"
"ම්ම්ම්"
"මොනවද ඔච්චර කල්පනා කරන්නේ"
"මෙහෙ හරි ලස්සනයි නේද, අර ඉගිල්ලෙන කුරුල්ලෝ වගේ මටත් නිදහසේ කඳුකරේ පුරා ඉගිල්ලෙන්න ආසයි.... ඒ උනාට මගේ තටු කපලනෙ"
බෝමිගේ කතාවට කේනු විතරක් නෙවෙයි නේහත් පුදුම වෙලා එයා දිහා බලන් හිටිය. මොකද මේ දවස් ටිකට එයාලා අදුර ගත්ත බෝමි මේ වගේ සීරියස් විදිහට කතා කරයි කියල එයාලට හිතුනේ නෑ.
"බෝමි ඇයි මේ, මොකක්ද ප්රශ්නෙ"
"සමහර දේවල් ඕනවට වඩා වැඩි උනාමත් හරි වදයක් කේනු, ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනේ. අපේ අම්මගේ, තාත්තගේ ආදරෙත් ඒ වගේ"
"ඒ කිව්වෙ"
"ඔයාලා දැකල තියෙනවද පුංචි ළමයි ඇවිදින්න පටන් ගත්ත අළුත එයාගෙ ළඟින්ම කෙනෙක් ඉන්නවා වැටුනොත් අල්ල ගන්න බලාගෙන. අපේ අම්මයි තාත්තයි දෙන්නත් මාව පරිස්සම් කරන්නේ ඒ වගේ. හැම තිස්සෙම මගේ පස්සෙන්, මිදුලට බැස්සත් ඇවිත් කියවනවා....එළියේ සීතලයිලු, පිනි බානවලු,හුළං වදින්න එපාලු, කාමරේට වෙලා පාඩම් කරත් සැරින් සැරේ ඇවිත් බලලා යනවා. මට කිසිම නිදහසක් නෑ, මං ආස දෙයක් කරන්න නෑ. නීති දාහක් දානවා..... කොළඹ ඉද්දී මං ඉගෙන ගත්තේ තාත්ත උගන්නපු ඉස්කෝලෙ. එයා එක්ක ඉස්කෝලෙ එනවා යනවා, ඒ ඇරෙන්න එයාලා එක්ක මොනවට හරි එළියට යනවා එච්චරයි, ටියුෂන් සර්ලත් ගෙදරට ගෙන්නලා ඉගැන්නුවේ.....
