උඩ දියලුමෙ ජබුං ගහලා පීනලා දෙහස්ගෙ ව්ලොග් එකට රෙකෝඩ් කරලා නටන්න ඕනි ඔක්කම නටලා බංගලාවට එද්දි හවස හය පහුවෙලා. දොළහට ළං කරලා ගිනි මද්දහනෙ පිටත් වෙච්ච පස් දෙනා පැය හයකුත් පහුවෙලා ආයෙ එන හැටි බලන් හිටියේ විතේශ්ගෙ තාත්තා.
"කොල්ලො ටික නැටුවා වගෙ නෙවේ, ඊළගට ඔය ටික තමා ඉන්නෙ ලියන්න"
"ඔවා මොනාද අංකල් අපි ලියන්නම් ඇටි හැලෙන්න"
"ඇටි විතරක් හැලිලා බේරුනොත් ඇති සචින්දු පුතා"
සචින්දුට හික් ගැවෙන කොලුකමට උත්තර දුන්න අංකල් එහෙම්ම ගියේ හවස වරුවේ එයාගෙ සුපුරුදු tv show එක උන discovery channel එකේ wild life programme එක බලන්න.
කොල්ලො ටික කොහොමත් ඇල්ලෙන්ම නාගෙන ආපු නිසා දැන් ඉතින් චිල්. කේතක උවින් එක්ක ගාඩ්න් එකට ගිහින් සැරට දුමක් අදිද්දි, සචින්දුයි විතේශුයි වෙනම ඕපදූපෙක. ඒ අස්සෙ දෙහස් සුපුරුදු ලෙස වැරෙන්ඩා එකේ ඈඳි පුටුවක ඉදගෙන ලැප් එකේ කොටනවා.
"සුචීර අයියාගෙ නම්බරෙ තියෙනවද? මගෙ අතින් ඩිලීට් වෙලා"
"උබට මොකටද උගෙ නම්බර් එක?"
"විස්තර වගයක් බාගත කරගන්න. නම්බරෙ එවපංකො"
උවින් කියන්නෙ කොහොමත් පාසලේ අලගිය මුලගිය හැම එකාගෙම නම්බර්ස් එකතු කරන් ඉන්න එකෙක්. ප්රිෆෙක්ට් නෙ ඉතින්, ඒ වැඩ එක්ක නම්බර්ස් එකතු වෙනවා හෝ ගාලා.
"උබට මොකද්ද සුචීරයා එක්ක තියෙන ගණුදෙනුව කියපං?"
"මට ඩීටෙල්ස් වගයක් හොයාගන්න"
"උබට ඌ එක්ක ඇයිහොදැයිය පටන් ගත්තෙ කොයි කාලෙද කියපං ඔක්කටම කලින්"
ඒත් එක්කම එතනට ලැප් එකත් උස්සගෙන පාත් උනේ දෙහස්. තුන් දෙනාට එකට ඉදන් කයියක් ගහන්න වෙලාවක් හරි හමන් විදිහට හම්බුනෙම නැහැ. ඒ හින්දමයො වැරෙන්ඩා එකෙ ඉදලා ගාඩ්න් එකෙ කොනේ ටේබල් එකෙ ඉදන් ඉන්න අරුන් දෙන්නව දැකලා දෙහසුත් එතනට ගෑටුවේ.
"මොකො සුද්දලා කතා වෙන්නෙ, එහාට පලයං මට ඉදගන්න. එක්කො පුප තියපං පුටුවෙ ඇඳි උඩ ලැගෙන ඉන්නෙ"