දොඩම් බීම එක බොනකම්ම අනුධ හිටියේ මූණ හපුටු කරගෙන. ඇයි කියලා ඇහුවට කිව්වෙත් නෑ. මං ඉතින් එතනින් එහාට අහන්න ගියෙත් නෑ. සිතිජයි අනුධයි දෙන්නා බීම බීලා, කිරි අම්මා එක්ක කයියත් ගහලා ගියේ පැයකට විතර පස්සේ. එයාලා ගියාට පස්සේ මම වොශ් දාලා ඇඳට පැන්නේ ෆෝන් එකයි, හෑන්ඩ්ෆ්‍රී දෙකයිත් අරගෙන. සිංදුවක් දාන්න යූටියුබ් එක පැත්තට යනකොට මුලින්ම තිබුණේ 'රත්තරනේ' කියන සිංදුව. මේක අනුධගේ ආසම සිංදුව කියලා දැනගත්තේ දවසේ ඉඳන් මං මේ සිංදුව අනිවාරෙන් දවසකට සැරයක්වත් අහනවා.
මේ සිංදුව අහනකොට, අනුධ මොන වගේ දේවල් හිතනවා ඇතිද.. මොන වගේ සිද්ධි හිතේ මවාගන්නවා ඇතිද.. එක දෙයක් මට විශ්වාසයි.. එයා අනිවාරෙන් ඇස් දෙක පියාගෙන මේ සිංදුව අහනවා ඇත්තේ..ඉතින්, මමත් ඇස් දෙක පියාගත්තා.. බස් එකේදි, එයා මගේ උරිස්සෙන් ඔලුව තියාගත්ත වෙලාවේ එයාගේ කොණ්ඩෙන් ආපු සුවඳ මම හිතින් මවාගත්තේ එයා මට එහා පැත්තේ ඉන්නවා කියලා හිතාගෙන.. එතකොට මගේ හිතට දැනුනේ පුදුමකාර සැනසීමක්. හරි නම්, මේ සිංදුවේ පද පේලි වලට දැනෙන්න ඕනේ දුකක්.. ඒත් මගේ හිතට දැනුනේ සතුටක්..
සිංදුව ඉවර වෙලත් මං ඇස් දෙක පියාගෙනම හිටියේ ඒ හැඟීමෙන් මිදෙන්න තිබුණ ලෝභ කමකට..
මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා.. කොහොම හරි මල්ලි රෑ හතට විතර ඇහරවනකම්ම මම හොඳට නිදාගෙන..
"මොකද බං කවදාවත් නැතුව හවස නිදාගත්තේ?" මල්ලි ඇහුවේ ඇඳෙන් වාඩි වෙලා මගේ බඩ උඩින් ඔලුව තියාගන්න ගමන්.
"...සිංදු අහ අහ ඉන්නකොට නින්ද ගිහින් බං.." මං එහෙම කියලා මගේ බෙල්ල වටේ එතිලා තිබුණ හෑන්ඩ්ෆ්‍රී දෙක ගැලෙව්වා.
"උඹ වෙලාවක මැරෙන්නේ අයියේ ඔය වයර් ටික පැටලිලා. නින්ද යාගෙන එද්දි ඕක ගලවලා දාපන්කෝ!" මල්ලි මට බැන බැන හෑන්ඩ්ෆ්‍රී එක ඇදලා අරන් පැත්තකට දැම්මා.
"මට නින්ද යන්නේ කොයි වෙලේද කියලා මං දන්නවා නම් බැරියෑ බං.." මං එහෙම කියලා ඇස් දෙක පොඩි කරගත්තේ නිදි මත යවාගන්න.
YOU ARE READING
කහ පාට පිටු
Romanceජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියව...