~ස්නේහ~
3 කොටස
දොර ඇරපු මධූෂ හිනාවෙන් මූණ පුරවගත්තේ රනුකව ඒ විදියට මේ වෙලාවේ අපේක්ෂා නොකල නිසයි... මධූෂවත් තල්ලු කරගෙනම රනුක ඇතුලට කඩාගෙන පැන්නා...
මධූෂ උන දේ අදහගන්න බැරුව පුදුමවෙලා බලන් ඉද්දි රනුක මධූෂගේ බෙල්ලෙන් අල්ලලා ලෑලි බිත්තියට තල්ලුකලා...
"උඹට මොකද වෙන්න ඕනේ... ඇයි මං ගැන ඔච්චරටම හොයන්නේ"
"මේ මම.... මම"
"නැතුව මමද"
"මම ඔයා ගැන හෙව්වේ නෑ"
"තෝ හිතුවද මම ගොන් බදින කණුවක් කියලා... අහ්.. තෝ ආව දවසේ ඉදන් මගේ රෙදි ඔටෝ හේදෙන්නයි... මගේ දොර ඉස්සරහා බත් පැකට් තියන්නයි...වෙන එකෙක් නෑ යකෝ ඔය වගේ වැඩ කරන්න මේ වැයික්කියේ"
"මේ මම.... මම"
රනුක මධූෂ කතා කරන්න යද්දිම ඉනේ තිබුනු පිස්තෝලේ ලෝඩ් කරලා අරන් මධූෂගේ ඔලුවෙන් තිබ්බා...
මධූෂ බය වෙලා ඇස් දෙකත් ලොකු කරන් රනුක දිහා බැලුවේ කරකියා ගන්න දෙයක් නැතුව...
"කන් දෙක හොදට ඇරගෙන මෙන්න මේක හොදට අහගනින්... ආයේ මට වාතයක් වුනොත් තොට කරන දේ මමවත් දන්නෑ... උඹ තාම මං ගැන හරියට දන්නැත්තන් දන්න එකෙක්ගෙන් හරියට අහගනින්... මං තෝව බාවනවා... ඒ නිසා පාඩුවේ හිටපන් ."
මධූෂගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා දොර සද්දෙන් වහගෙන රනුක එලියට එන්න ආවේ පිස්තෝලේ ඉනේ රදවගන්න ගමන්.... කාමරේට ගිය රනුක ඇදන් හිටපු ඇදුම පිටින්ම ඇදට වැටුනේ කනස්සල්ලෙන්.... උදේ උනන් සිද්ද වුනු හැමදේම හිතට වද දුන්නා.එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටිය රනුකට නින්ද ගියේ පාන්දර යාමේ...
රනුක එක්ක යන්න අපු දිනේෂ් රනුක එනකන් කම්බි වැට ලගට වෙලා මගබලන් හිටියා....
"රනා.... වරෙන්කෝ පරක්කුයි යකෝ"
"හිටපන් ### මේ එනවා"
දොර වහගෙන එලියට එන ගමන් රනුක කෑ ගැහුවා...
කම්බි වැට පැනලා එලියට ආපු රනුක කරේ දාන් හිටපු ෂර්ට් එක අදින්න ගත්තා... ඒ වෙලාවෙම මධූෂ කාමරේ දොර වහගෙන එලියට ආවා.... තමන්ව නොදැක්කා සේ ලගින්ම යන මධූෂ දිහා රනුක බලන් හිටියේ ෂර්ට් එකේ බොත්තම් දානගමන්.....