හතලිහ පරිච්ඡේදය

492 42 37
                                    


උදේ පොද වැටෙන හීන් හිරිකඩ වැස්සට රතු නෙළුම් මල් දහස් ගාණක පෙති තෙමුණා. ලී පාලම ගාව තිබුණු ලී ඔරුව විල්දිය රැලි මතු කරමින් හුළඟට යන්තමට පැද්දෙමින් තිබුණා. හැමදේම සාමකාමියි....

අවුරුදු පහක් පුරාවට හඬන අයේශ්ගේ හදවත ඇරෙන්න අනික් හැමදෙයක්ම හරිම සාමකාමීයි... තිබුණටත් වඩා. සමහරවිට ආසම සුදු නෙළුම නැතුව විලටත් පාළු ඇති. සුදු නෙළුමෙ අයිතියක් නැතුවම අයිතිවුණු මේ මනුස්සයටත් හදවත කකාරගෙන යන තරම්ම පාළුයි... මොන දිව්‍යලෝකේ හිටියත් හොයාගෙන එන්න තරම් මේ තරුණ දඩබ්බර හිත බොළඳ වෙලා. ආදරේට ගල් වගේ හිත් වෙඬරු වගේ දිය කරලා දාන්න පුළුවන් කියලා කතාවට අහලා තිබුණට ඒක මං හරියටම විඳින්නෙ, දකින්නෙ දැන්.

"ඔයා කොහෙද මගෙ සුදු නෙළුම.. මට පාළුයි"

ඉමක් කොණක් නොපෙණෙන නෙළුම් විලේ ඈත කෙළවරකට ඇස් යොමාගෙන ඉඳපු මගේ මුවින් ඉබේම මිමිණෙන්නට විය.වෙලාවකට හිතෙනවා මං යන්නේ මිරිඟුවක් පස්සෙ ද කියලා. ඒත් මගේ චූටි එයා ජීවත් වෙනවා අපි එක්කම ඉන්නවා කියලා දැන දැනත් එහෙම නෑ වගේ ඉන්න මට බැහැ.

"මචං... තාත්තගෙන් කෝල් එකක්., මීටින් එක පටන් ගන්නවා තව පැය පහකින්. අපි ආපහු කොළඹ යන්න ඕනේ"

කොහෙදෝ ඉඳන් කළබලෙන් ආව නෙතුම් තාමත් නාද වෙන දුරකථනය මා වෙත දිගු කලා. මම ඇමතුම විසන්ධි කර සුසුමක් හෙළුවා.

"විහස් ගැන මුකුත්..-"

"මචං අයේශ්!! මොකද්ද බං මේකේ තේරුම.. උඹ අවුරුදු පහක් තිස්සේ... අවුරුදු පහක්..!! සෙල්ලමක් නෙවේ බං.... අපි කොච්චර කාලයක් විහස්ව හෙව්වද? උඹ එදයින් පස්සේ ඌව හොයාගෙන ඇවිත් මේ නෙළුම් විල ගාව හූල්ල හූල්ල ඉන්න කීවෙනි වතාවද බං මේ..."

නෙතුම් නෙළුම් විලේ ලී පාලමේ වැටට අත් දෙකින් බර වෙන ගමන් ලොකු හුස්මක් අරගෙන වාතලයට අතෑරලා දැම්මේ මොන තරම් බර හැඟීමකින්ද කියලා මට තේරෙන්නේ නෑ.. ඒත් මම පිස්සෙක් වෙලා... මේ අවුරුදු ගානට මම පිස්සෙක් වෙලා

" විහස්ට නෑයෙක් කියලා බල්ලෙක්වත් හිටියේ නෑ කියන්න උඹට වඩා හොඳට මං දන්නවා... අපි ඌව හොයන්න පුළුවන් හැම අස්සක මුල්ලකම හෙව්වා බං.... මතකද උඹ දවසක් 'මගෙ සුදු නෙළුමව දැක්කා බං' කියලා අඬාගෙන ගමක් පුරා පාරක් පාරක් ගානේ අඬ අඬ දිව්ව දවස... මං හිතුවේ උඹ එදා සිරාවටම විහස්ව දැකලා කියලා... අපි ගෙයින් ගෙට ගිහින් විහස්ගේ ඉහ කෙස් ගහේ ඉඳන් විස්තර කරලා හොයන්න හැදුවත්, අපිට වැරදුණා බං.... ඔය වගේ කීපාරක් නම් අපි ඌව හෙව්වද බං.... හැමදාම එකම උත්තරේ...."

නෙළුම් විල Where stories live. Discover now