කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
4 කොටස
සරසි උදෙන්ම පිබිදුනාය.අද දින සිට ඇයට ඇත්තේ විසල් වගකීමකි.පාසල් යාමට සැරසී සිටි නදීපවත් සිය රෝස කුමාරිකාව මත නංවාගෙන සරසි නිවසින් පිටත් වූයේ සියල්ල හොඳින් වේවායි සිතින් පතමිනි.
"මේ..නැන්දම්මාට ඉනාවක් කවනවා ඔය බේතක් මැද්දට දාලා"
බස් නැවතුම්පළෙන් බැසීමට පෙර නදීප පැවසුවේ සරදම් ස්වරයෙනි.
"විකාර නොකියා බහිනවා බූරුවෝ"
ඔහුගේ සිනා හඬ මධ්‍යයේ යුවතිය වේගයෙන් යතුරු පැදිය පැදවූවාය.පෙර දිනයේ කළ පරිදි විදුලි සීනුව නාද කිරීමෙන් පසු එහි මුරකරු ඇගෙන් ප්‍රශ්ණ නොකරම ඇයට ඇතුළට යන්නට ගේට්ටුව විවර කළේය.
"ගුඩ් මෝනින් අන්කල්"
සොඳුරු සිනහවක් පාමින් සරසි පවසද්දී මුරකරු තප්පර කීපයක් තුශ්නිම්භූතව ඇය දෙස බලා සිටියේය.ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවූවද සරසි එය ගණන් නොගත්තාය.
"අනේ අම්මපා මෙච්චර ලස්සන හිනාවක් පෙන්නලත් මේ මනුස්සයට හිනාවෙන්න බැරි හැටියක්..."
සරසි තමාටම මුමුණමින් මංජරී පැවසූ පරිදි පිළිවෙලට සැකසූ අංගනය තුළ සිය යතුරු පැදිය නවතා දැමුවාය.උදෑසන හත පසු වී විනාඩි කිහිපයකි.ප්‍රධාන ද්වාරය විවරව තිබුණද කිසිවෙකුගේ හැලහොලමනක් නොවූයෙන් ඇය සුහර්ශාලීට ඇමතුමක් ගත්තාය.
"ඔයා ආවද මැණික?ඇතුළට එන්න.අම්මා ඇහැරලා ඉන්නේ"
සරසි කිසිවක් පැවසීමට ප්‍රථම සුහර්ශාලී පැවසීය.ඉතින් ලද අවසරයෙන් ඇය නිවස තුළට පියමැන්නාය.ආලින්දයේ කොණක වූ මේසයක් මතින් සිය ගමන් බෑගය තැබූ සරසි වෙලාව පිරික්සමින් මංජරීගේ කුටිය දෙසට පියමැන්නාය.ඇය එයට දෙවරක් තට්ටු කළාය.ද්වාරය විවර උනේ තෙවන වරටද ඇය එයට තට්ටුවක් දැමීමට අත ඔසවද්දීය.
"ගු..ඩ් මෝනින් මැඩම්"
ඇය ආයාසයෙන් සිනහවක් නඟාගත්තාය.පෙර පරිදිම ලුංගියකින් සහ කුර්තාවකින් සැරසී සිටින මංජරීගේ රුව දැකීමෙන් සරසි මඳකට තිගැස්සුනාය.තෙත කෙස් වැටිය පිස දමමින් සිටි මංජරී තමාටත් වඩා සුන්දර බව සරසිගේ සිත පවසන්නට විය.