කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
7 කොටස
"ආ..මේක මං ගාණේ.."
සුහර්ශාලී දිගු කළ පාර්සලය දෙස සරසි බලා සිටියේ විමතියෙනි.
"මේ මොකක්ද අක්කී...?"
"ගිෆ්ට් එකක්..මගේ වෙන්න නෑණාට"
සරසි සුපිරි සාප්පු සංකීර්ණයෙහි පිට වීමේ ද්වාරයෙන් එළියට ආවේ එම පාර්සලයෙහි වූ දෙය අඩමානෙට ඉවතට ගනිමිනි.එහි වූයේ නිල් පැහැ ගත් ගවුමක් සහ කුඩා සුවඳ විලවුන් බෝතලයකි.ශාලි සමඟ ඇඳුම් තේරුවද ඇය කිනම් මොහොතක මේවා තේරුවා දැයි ඇය නොදත්තාය.
"මම නැට්ට වගේ පස්සෙන්ම ඉඳලාත් කොහොමද අනේ මට හොරෙන් මේවා තේරුවේ?"
සරසිගේ මුව සිනහවෙන් ඉතිරී තිබුණි.ඉතින් අන් යුවතියන්ට මෙන්ම තෑගි යනු ඇයට සතුට ගෙන දෙන්නකි.ඒවා අනපේක්ශිතයන් වීම ඒ සතුට දෙගුණ කරයි.
"අපේ බූරුවා එක්ක පැත්තකට වෙලා මල් කඩපු වෙලාවේ.."
ශාලි පැවසුවේ බෑගයෙන් රියෙහි යතුර අතට ගනිමිනි.
"ආ...ඒ ඔයාගේ බූරු පැටියා නෙමේ ගත්තේ..ශයෙත් අයියා.."
සරසි නොදුටුවද ශාලිගේ සිනහව වියැකිණි.ඇය යටැසින් මෙන් සරසි දෙසට බැල්මක් හෙලුවාය.
"එයා මොකද ඔයාට ගත්තේ?"
"කිනුරුට එන්න කිව්වානේ මං.එයාට එන්න බැරි තරම් බිසී කියලා එයා ශයෙත් අයියාට කියලා පොඩ්ඩක් බලන්න කියලා..ඒකයි අපි ඉන්නේ කොහෙද කියලා අහන්න කෝල් එකක් ගත්තේ..මම ඉතින් ඔයා යන්න ඉන්න තැන් ටික කිව්වා"
කරුණු කාරණා කිසිවක් නොදත් සරසි පැවසුවද ශාලි ඇවිද්දේ පොළවට රවාගෙනය.
'අරයාට බූරුවා කියන්නේ නිකමටද ඉතින්..?ඒකටම හරි යනවා මේ බූරු දෙනත්..'
ඇය කිනුරුට පමණක් නොව කිසිම දෙයක් නොදන්නා සරසිටද සිතින් දෙහි කැපුවාය.ශයෙත් ගැන සියල්ල දැන දැනත් කිනුරු කළ දෙයට ශාලිට සියුම් කෝපයක් දැනුණි.
"ඔයාගේ කිනුරුටත් පිස්සු..එයාගේ යාලුවටත් පිස්සු..මම බබෙක් කියලා හැමෝම හිතන් ඉන්නේ"