15 කොටස

416 28 7
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🧜 දිය කින්නර 🧜

15 කොටස

මංජරී ගෙවී ගිය දෙදින පුරාම සිටියේ කල්පනාබරිත වතිනි.කිනුරු පැවසූ දේවල් ඇයට ඇගේ සිතින් අත් හරින්නට නොහැකි විය.කිනුරු ආරාධ්‍යාට අකැමති බව පැවසුවාට වඩා හිත බිය වූයේ ඒ අතරම පැවසූ අනෙක් කාරණා හමුවේය.සැබෑවටම කිනුරුට වෙනත් යුවතියකට ආදරය කරනවාද?එවැනි සබඳතාවයක් තියෙන්නේ නම් ඔහු එය තමාගෙන් සඟවන්නේ ඇයි?ඒ ඇය තම පවුලට නොගැළපෙන නිසා නොවේද?නැවතත් සිතුවිලි පෙරළිය එකම තැනක නතර විය.සුහර්ශාලී සම්බන්ධයෙන් සිදු වූ වරද කිසි විටෙකත් කිනුරුට නොවන බව මංජරී තරයේ විශ්වාස කළාය.නමුත් කිනුරු පවසනා පරිදි ඔහුට ආරාධ්‍යා කෙරෙහි කෙදිනකවත් සිතක් පහළ වන්නේ නොමැති වේවිද?එසේ නම් ඔහුටද විවාහයක් නිසා වන්නේ ශාලිට මෙන් දුක් විඳීමටද?

නිතරම කල්පනා කිරීමෙන් ඇති වූ හිසරදය මංජරීට දරා ගත නොහැකි විය.ඊටත් වඩා කිනුරුගෙන් වෙනදා නුදුටු දරදඬු ස්වභාවය මෙන්ම ශාලීගේ තදබල නිහඬ බව මංජරීගේ සිතට වද දෙන්නට විය.කිනුරු නිවසට පැමිණෙන්නේද මහා රාත්‍රියේය.උදෑසන නිවසින් පිට වන්නේ වෙනදා මෙන් කතා බස් වලට ඉඩ නොතබමිනි.ශාලිද නිහඬය.සරසි වෙනුවට සිය ආවතේව සියල්ල සිදු කළද සවස බුදු පහන තැබීමට එක් වූවද එතනින් එහා වදන් හුවමාරුවක් ශාලිගෙන් නොවීය.දෙදිනක් පුරා වන තම දරුවන් දෙදෙනාගේ හදිසි දුරස්වීම අතරම ඛේමාගේ රැවීම් ද ඇයට බරක් මෙන් දැනුණි.කිසි දිනෙක නැන්දම්මා-ලේලි ගැටුම් ඇති නොවූවද ඔවුන් දෙදෙනා අතර සුහද බවක්ද නොවීය.ඛේමා තම නැන්දම්මා වූ පසුවද ඇගේ සිත දිනා ගැනීමට කියා මංජරී අමුතු දෙයක් නොකළාය.නිලංග රත්වත්තේගේ සෙවණැල්ල යට ආදරණීය බිරිඳක්ව සිටීම පමණක් ප්‍රමාණවත් බව ඇය විශ්වාස කළාය.නමුත් තමා එදා පටන්ම ගණන් නොගත් නැන්දණිය හට කිනුරු සහ ශාලී බැඳුණේ කෙලෙසකදැයි ඇයට සිතා ගත නොහැකි විය.තමා නොදන්නා බොහෝ දේවල් ඛේමා සිය දරුවන් දෙදෙනා පිළිබඳ දන්නා බව ප්‍රථම වරට මංජරීට ඔවුන්ගේ හැසිරීමෙන් දැනෙන්නට විය.නමුදු ඇය මොහොතකට හිතුවක්කාර වූවාය.කිනුරු සමඟ දිනෙක පෝරුවට නැඟිය යුත්තේ ආරාධ්‍යා පමණකි.ඇයට වඩා සුදුසු යුවතියක මංජරීට මැවී පෙනුණේ නැත.ඒ සිතුවිල්ලටම ඇය ඇමතුමක් ගත්තේ ආරාධ්‍යාගේ මවටය.දෙමිතුරියන් ඊළඟ විනාඩියේ යමක් පිළිබඳව සාකච්ඡා කරන්නට වූවෝය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now