කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
5 කොටස
එය අලුත් දිනයක් විය.සුපුරුදු පරිදිම සරසි වූයේ රත්වත්තේ නිවසේය.උදෑසන ආහාරයට විනාඩි කිහිපයකට පෙර සුපුරුදු ප්‍රතිකාරය කළ යුතු බැවින් මංජරී ඒ සඳහා සිතිනුත් ගතිනුත් සූදානම්ව සිටියාය.නැවත බැනුම් අසන්නට සිදු වේ යැයි සරසි බිය වූවද මංජරී මෙවර සිය බිය ඉතාමත් ආයාසයෙන් පාලනය කරගත්තාය.පෙර දිනයේ කුස මතට දෙවරක්ම එන්නත් කර තිබුණු නිසාවෙන් මෙදින සරසි ඇගේ අතට ඉන්සියුලින් එන්නත් කළාය.තප්පරයක් මෙන් සුලු කාලයකදී සරසි සියල්ල අවසන් කළ වහා පසෙකට වූයේ මංජරීගේ ප්‍රතිචාරය කුමක් වේදැයි නොදන්නා නිසාය.සරසිගේ හැසිරීම හමුවේ මංජරීගේ මුවේ සියුම් සිනහවක් ඇඳී මැකී ගියද එය සරසිට දකින්නට අවස්ථාවක් නොදීමට මංජරී වගබලාගත්තාය.
උදෑසන ආහාරය සඳහා මංජරී වාඩිවූයේ විනාඩි විස්සකට පමණ පසුවය.ඒ වද්දී කිනුරුත් සුහර්ශාලීත් කෑම ගැනීමට සූදානම්ව සිටියෝය.මංජරී වටපිට බැලුවේ පෙරදා රැයේ අනුරාධපුර වන්දනා ගමන අවසන්ව නිවසට ආ ඇගේ නැන්දම්මා පෙනෙන්නට නොමැති නිසාවෙනි.
"ප්‍රියංගා..ලොකු මැණිකේට එන්න කියන්න"
ඛේමා දුනුවිල මුලින්ම ලොකු මැණිකේ වූයේ ඇගේ සැමියාටය.ඉන් පසු ඇය සැමටම ලොකු මැණිකේ විය.මංජරීටද සමහර අවස්ථා වලදී ඒ නම කියවෙන්නේ පුරුද්දටය.ඇය කුඩා කල සිටම ඇයට ආමන්ත්‍රණය කිරීමට පුරුදුව සිටියේ ලොකු මැණිකේ නැන්දා යනුවෙනි.අවසන එයින් නැන්දා කොටස හැලුනි.පසුව ඇය සිය නැන්දම්මා විය.ආමන්ත්‍රණය අම්මා නමින් වෙනස් වූයේ නිලංග රත්වත්තේව කසාද බැන්ඳාට පසුවය.
"මම කතා කළා පොඩි මැණිකේ.බඩ පුරෝදාලා කියලා කන්න බෑ කිව්වා.දවල් කෑමට එන්නම්ලු.කකුල් අමාරුවත් ආයේ මතු වෙලා මගෙ හිතේ"
දන්නා කාලෙක පටන් නිවසේ මෙහෙකාරිය වූ ප්‍රියංගා පවසද්දී සිනහවක් මුවේ මැවුණේ සුහර්ශාලීගේය.
"හ්ම්ම්..එහෙනම් එහෙම හිටපුදෙන්..සරසි.."
"මැඩම්.."