කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
8 කොටස
ශාලිගේ සිත වෙනදාටත් වඩා වේගයෙන් සුවපත් වෙමින් තිබුණේය.ශයෙත් එදින දෙව්රම් ඉදිරියේ ඔහුව තමාගේ පෙම්වතා ලෙස හඳුන්වා දී සිය කම්මුල මතට සිපුමක් තැබූ අයුරු සිහිවන වාරයක් පාසා හිතට දැනෙන අමුතු හැඟීමට ඇය පෙම් කළාය.නමුත් යථාර්ථය සිහි වන හැම විටම ඇගේ මුවින් ඒ සිනහව අතුරුදහන් වන්නේය.දෙව්රම් ගැන අමතක කිරීම පහසු වන තරමටම ශයෙත්ව හිතට නොගෙන ඉන්නට ඇයට අපහසු වූවේය.කිනුරු සියල්ල දන්නා බව ඇයට පැවසුවේ සරසිය.ඔහුගේ අධික සන්සුන් බව ශාලිට ගෙන ආවේ බියකි.දෙව්රම් සමඟ ඔහු නැවත වරක් පැටලේවි යැයි බියක් දැනුණද කිනුරු රණ්ඩුවකට නොයන බව සරසි ශාලිට සපථ කළාය.
සිය රැකියාව රාජකාරියක් නොව දේව කාරියක් ලෙස සළකා සරසි මංජරී සහ ඛේමා වෙනුවෙන් කැප වූවාය.මංජරීගේ දුර්වලතා මෙන්ම ඇය පිටතට පෙන්වන දරදඬු ගැහැණිය තුළ අධි සංවේදී ගැහැණියක් සිටින බවට සරසි හඳුනාගත්තාය.නමුත් කිනුරු සමඟ ඇයට ඇති සම්බන්ධය දැනගත් කළ මංජරී දරුණු වේයැයි ඇය බිය වූවාය.අහිමි වීමක් සිය දෛවයේ තිබේ නම් එයට මූණ දීමට සිත දැඩි කරගත් සරසි මංජරීට තම මවට මෙන්ම සැළකීමට සිතා ගත්තාය.
"මැඩම්..."
දිවා ආහාරයෙන් පසුව මංජරී වෙනදා මෙන් නින්දට නොයා සිය කාර්යාල කුටියට වී ඇගේ ලියවිලි අතර අතරමං වී සිටියාය.සිංහල භාෂාව සහ සාහිත්‍යය රසාස්වාදයට ප්‍රිය කළ ඇය සිටියේ උසස් පෙළ සිසුන්ට වෙනුවෙන් පළ කිරීමට නියමිත කෘතිය වෙනුවෙන් වෙනදාට වඩා මහන්සි වෙමිනි.
"එන්න.."
ඒ සරසි බව දැනගත් මංජරී පැවසුවේ හිස ඔසවන්නේ නැතිවමය.සුන්දර සිනහවකින් මුව සරසාගෙන සරසි පැමිණියේ බන්දේසිය මත තැබූ අලිගැටපේර පානයක් ද සමඟිනි.
"මැඩම්...මේ ඇවකාඩෝ ජූස් එක බීලා ඉන්න"
මංජරී හිස එසෙව්වේ එවිටය.පියකරු යුවතිය දෙස වරක් බැලූ ඇය බීම වීදුරුව දෙස බැලුවේ විමතියෙනි.