කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
18 කොටස
මංජරී සිටියේ සුදු පැහැ සිවිලිම මත දෑස් අයාගෙනය.දහවල ආරාධ්යා ඉදිරියේ තමා අසනීප වූ බව ඇයට මතකය.නමුත් ආරාධ්යා පැවසූ කිසිවක් ඇයට මතක නැත.දින කිහිපයක් තිස්සේ දැනුණු අපහසුතා ඒ වන විට ඇගේ සිරුරට නොදැනුණේය.රුධිර සීනි ප්රමාණය වැඩි වීමත් අධි රුධිර පීඩනයත් ඇයව මරණ මංචකය පෙනෙන නොපෙනෙන මානයට රැගෙන ගොස් තිබුණි.පුද්ගලික රෝහල් කුටියේ නිහඬ බව බිඳුනේ එකිනෙක ගැටෙන පෝසිලේන් බඳුන්හි හඬිනි.මංජරී යාන්තමට හිස හරවා බැලුවාය.ශාලි වූයේ මංජරී වෙනුවෙන් ප්රියංගා සකසා තිබුණු සුප් බඳුන දීසියකට දමමිනි.මේ වන විට මංජරී දින කිහිපයක් තිස්සේ ඇයට නියම කෙරූ ආහාර රටාවට පරිභාහිරව පැණි රස කෑම වැඩිපුර ගෙන ඇති බව ශාලි දැනගෙන සිටියාය.මවට දොස් පැවරීමට තරම් සිතක් තිබුණද ශාලි ඒවා ගැන කතා නොකළාය.සුප් බඳුන මංජරීට පෙවීමට පෙර සරසි මංජරී අසලට පැමිණ ඇයව සයනයෙන් කෙළින් කරවූවාය.
"මේක බීලා ඉමු අම්මා"
ශාලි උණුසුම් සුප් බඳුනෙන් හැන්දක් මංජරීගේ මුව වෙත ළං කළාය.ඇය එය බී දැමුවේ අධික කුසගින්නක් දැනුණ නිසාවෙනි.
"ආරාධ්යා දුව ගෙදර ගිහින්ලුද?"
"ඔව් අම්මා..කෝල් කරලා විස්තර ඇහුවා.ප්රියංගාට සුප් එක හදන්න උදව් කරලමයි ගිහින් තියෙන්නේ"
මංජරී එය අසමින් තවත් සුප් හැන්දක් ගිල දැමුවාය.
"කෝ මල්ලී?"
මංජරී ඇසුවේ ආහාරත් අවශ්ය දේවල් දැමූ බෑගයකුත් කුටියෙන් තබා ඉවතට ගිය කිනුරු තවම කුටියට නොපැමිණුන බැවිණි.
"එයා...එහෙමම ගෙදර ගියා අම්මා..පොඩ්ඩක් ඔලුව රිදෙනවා කිව්වා.."
ශාලි එය පැවසුවේ විරාම තබමිනි.මංජරීගේ උවනේ සියුම් හැඟීම් නිරීක්ෂණය කරමින් ශාලි පැවසුවද මංජරී සෙල් රුවක් සේ බලා සිටියාය.නිහඬවම සුප් බඳුනම බී අවසන් කළ මංජරී එවර හඬ අවදි කළාය.
"එයාට ඒ තරමටම මාව එපා වෙලාද?"
ශාලිව මඳකට ගල්ගැසුණි.මංජරී එවැන්නක් අසාවි යැයි ඇයට සිතුණේ නැත.