කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🧜 දිය කින්නර 🧜
10 කොටස
සරසි දක්වන ඇල් මැරුණු ප්රතිචාරය ඔස්සේ කිනුරු සිටියේ කෝප ගෙනය.ඇගේ උවන හැඟීම් විරහිතව ගොස් ය.දෙනෙත් වල ජීවය වියැකී ගොසිනි.
"දවසම මාව මඟ ඇරලා සෑහෙන්න මහන්සි ඇති නේද?"
කිනුරුගේ ගැඹුරු හඬට තිගැස්සුනද කිසිවක්ම නොපැවසූ සරසි දෙනෙත් බිමට නැඹුරු කරගෙන සිටියාය.ඇගේ මේ නිහඬ බව කිනුරුව තව තවත් කෝප ගන්වන්නට සමත් වූවද ඔහු ඉවසුවේය.
"ඔය දේ දැනගෙනමයි ඔයා අද ආවේ සරසි..මගෙ අතේ වැරැද්දක් නෑ කියලා දැන දැන ඔහොම හැසිරෙන්න එපා..."
කිනුරුගේ ඇගේ අවුල් වූ කෙස් රොදක් ඇගේ සවන පසුපසට කරමින් පවසද්දී සරසි හිස ඔසවා ඔහු දෙස බැලුවාය.ඔහුගේ උවන පුරා දෙනෙත් යැවූ සරසිට ආරාධ්යාගේ සොඳුරු රුව මැවි මැවී පෙනෙන්නට විය.ඔහුට ආරාධ්යාව කෙතරම් ගැළපෙන්නේ දැයි ඇයට සිතෙන්නට විය.
"එයා ලස්සනයි..."
ඇය දුබල හඬකින් පැවසුවාය.
"ඉතින්...?"
"ගොඩක් පෝසත්..."
"ඉතින්...?"
සරසි පවසන්නට හදන කරුණ වැටහුණාක් මෙන් කිනුරුගේ හඬ මඳින් මඳ දැඩි වී තිබුණි.
"එයා පර්ෆෙක්ට් කෙනෙක්.මට වඩා හැම අතින්ම එයා ඔයාට..."
ඇයට ඉතිරිය පවසා ගැනීමට නොහැකි විය.ඇගේ බාහුවකින් අල්ලාගත් කිනුරු ඇයව තමා සමීපයට ඇද ගත්තේ ඇයට වේදනාවක් දෙමිනි.ඒ වේදනාව ඇගේ උවනෙන් දිස් වූවද කිනුරු මොහොතකටවත් ඒ ග්රහණය අඩු කළේ නැත.
"ඉතින්...??තමුසෙ දැන් කියන්න හදන්නේ ඒකිව මැරි කරන්න කියලද?"
නොදැනුවත්වම කිනුරුගේ හඬ මඳක් උස් විය.ඉන් කලබල වූයේ ශාලීය.
"මල්ලී..."
ඇය පඩිපෙළ දෙස බලමින් පහත් හඬකින් ඔහුට අනතුරු අඟවන්නට වූවාය.තවමත් අලිගැටපේර කමින් කතා බහේ සිටිනා මංජරීටවත් ආරාධ්යාටවත් ඔවුන්ගේ හඬ නොඇසුණද මේ මොහොතේ අවදානමක් ගැනීමට ශාලි බිය වූවාය.ශාලිට එකම එක බැල්මක් හෙලූ කිනුරු නැවත සරසිගේ දෙනෙත් වලට එබුණේය.ඒ වද්දී ඇගේ නෙතු කඳුලින් පිරී තිබුණි.