19 කොටස

336 26 8
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

(වචන වල අඩුපාඩු බැලුවේ නැහැ.ඒවා ගණන් නොගෙන කියවන්න ඉතින්.😊)

🧜 දිය කින්නර 🧜

19 කොටස

මංජරී රෝහලේ සිට නිවසට ආවේ දින තුනකට පසුවය.වෛද්‍යවරයාගේ දැඩි අවවාදයන් නිසාත් සිය දරුවන් දෙදෙනා තමා නිසා වේදනා විඳි අයුරු නිසාත් කිසි දිනෙක සිය ලෙඩ රෝග මතින් සිය වේදනාව පිට නොකළ යුතු බවට මංජරී අදිටන් කරගත්තාය.නමුත් ඇගේ සිතට අලුතෙන් බරක් එකතු වූවාක් මෙන් දැනෙන හැඟීම ඇයව පීඩාවට පත් කරලීය.නාන කාමරයට වැදී සිත් සේ නා කියා ගෙන කුටියට පැමිණි මංජරී වෙනදා අඳින ලුංගියත් කුර්තා බ්ලවුසයත් පසෙක දමා කාලෙකින් භාවිතා නොකළ දිගු බතික් ගවුමක් ගත ලා ගත්තාය.දිගු තෙත හිසකෙස් පිස දමමින් ඇය ආලින්දයට පැමිණියේ අධික කුසගින්නක් දැනෙද්දීය.ප්‍රියංගා තවමත් දිවා ආහාරය සකසමින් සිටියෙන් මංජරී ආලින්දයට වී තුවායකින් හිසකෙස් පිස දමන්නට වූවාය.රෝහලේ සිට තමාව එක්කගෙන ආ කිනුරු උඩු මහලේ සිට තවමත් පහළට ආවේ නැතිය.ඔහු හා සිනා සී කතා කළ දිනක් ඇයට මතක නැත.එදින සරසි සමඟ ඔහු සිටිනා අයුරු දැක ආ ආවේගයට ඔහුට ගැසූ කම්මුල් පහරේ වේදනාව දැන් දැනෙන්නේ මංජරීටය.සිතට ආ හැඟීමකට ඇය තුවායෙන් හිසකෙස් ඔතාගෙන උඩු මහළට පියවර තැබුවාය.තමා සමඟම ආ ශාලි උඩු මහළේ නාන කාමරයේ බව මංජරීට එහි හඬින් වැටහුණි.ඇය හිස පොවා බැලුවේ කිනුරුගේ කුටිය දෙසටය.උඩු කය කමිසය ගලවා දමා ඩෙනිම් කලිසමින් පමණක් සැරසී සිටි දේහදාරියා සයනයේ මුණින් තලා වැටී සිටියේය.ඔහුගේ අතේ ජංගම දුරකථනය යාන්තමට අල්ල මත දැවටී තිබුණි.මංජරී දොර සෙමින් විවර කර ඔහු දෙසට ළං වද්දී ඔහු නින්දේ පසුවන බව වටහා ගත්තාය.

ඇයට බර සුසුමක් හෙලුණි.ගෙවී ගිය දින කීපයේම ඔහුගේ උවනෙහි වූ විඩාබර බව,වේදනාත්මක බව මංජරී දුටුවද ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට තරම් සමීපත්වයක් ඇයට නොදැනුණේය.ඔහු ඉතාමත් වේගයෙන් තමාගෙන් දුරස් වූ බවක් මංජරීට දැනුණි.ඇය කිනුරුට එහා පසින් සයනයෙන් වාඩි වී ඔහුගේ උවනට එබී බැලුවාය.සැබෑවටම ඔහු සිටියේ නින්දකය.ඔහුගේ උපැස් යුවළද පසෙකින් විය.තම පුත්‍රයා ගැන දැනුණු සෙනෙහසට ඇය ඔහුගේ ඝණැති හිසකෙස් අතින් පිරිමැද්දාය.නමුත් එය නොදැනීමට තරම් ඔහුගේ නින්ද ප්‍රබල විය.ඇය ඔහුගේ උවන දෙස මොහොතක් බලා සිටින්නට විය.මේ සිටින්නේ නිලංගගේම අනුරුවක් බව සිතෙන්නට තරම් සමාන ලක්ෂණ කිනුරුගේ උවනෙහි විය.ඇගේ මුවග සිනහවක් මැවුණේ සමහර තැන් වලදී නිලංගගේ ගතිගුණ ඔහුගෙන් දිස් වන බව සිහිපත්වය.ආදරය සම්බන්ධයෙන් පිය-පුතු දෙපළගේම මතය එකය.ඛේමා නිලංග හා තමාගේ ආදර සබඳතාවයට විරුද්ධ වූවද නිලංග තමාව අත් හැරියේ නැත.ඔහු එකළ ඛේමා සමඟ බහින් බස් වී හිතුවක්කාර නොවූවද තමන්ගේ මුරණ්ඩුකම උපතින්ම දායාද කරගත් කිනුරු කළේද නිලංග එදින තමා වෙනුවෙන් කතා කළ අයුරින්ම සරසි වෙනුවෙන් කතා කිරීමය.නිලංග මෙන්ම සබඳතා වලට ඔහුද අවංකය.එදින ඛේමා ඔවුන්ගේ සතුටට ඉඩ දී නිහඬ වූවාය.නමුත් තමා?මංජරී සිංහලපාලී වන තමාට එතරම්ම එය අපහසු වන්නේ උඩඟුකම නිසාමදැයි මංජරීට වටහා ගැනීමට අපහසු විය.

🧜දිය කින්නර🧜Where stories live. Discover now