"දැන් මේ දැරිවි බඩ වෙලා නෑ කියලාද උක්කුං පුතේ මේ කියන්නේ?" අත්තම්මා වග විස්තර විමසන්නට විය. හේමමාලිනි නැවත වතාවක් රතුව ගිය අතර, ඒ වැඩිමනක් ම කෝපය නිසාවෙනි. ඉතිරිය ලැජ්ජාව නිසාවෙනි.
"නෑ අත්තම්මේ.. ඔයා හිතනවා වගේ දෙයක් නෑ.. මෙයා ගොඩ වෙලාවකින් කාලා නෑ.. අනික උණත් තිබුණා.. ඒ නිසයි කලන්තේ දැම්මේ..." රක්ෂිත් පැහැදිලි කළේය.
"මං ඒත් අර එහා ගෙදර නර්ස් නෝනා රුමාශි කෙල්ලගෙනුත් ඇහුවා කෙල්ල බඩ වෙලාද කියලා" රක්ෂිත්ගේ අතක් ගොස් නළලෙහි නතරවීම ඔහුට නතර කර ගැනීමට නොහැකිවිය. කාශිනි නම් තම සිරකරගෙන සිටින සිනාව නිසාවෙන් කඳුළු පැනීමට තතන දෙනෙත් පාලනය කරගෙන සිටියේ අපහසුවෙනි. හේමමාලිනි සියල්ලටම පුපුරමිනුයි සිටියේ. සියල්ලටම වඩා අත්තම්මාව මරා කන්න තරමේ කෝපයකිනුයි ඇය සිටියේ.
"මොනාද අත්තම්මේ කරන්නේ.... එයාගෙන් මොකටද ඒවා ඇහුවේ...?" රක්ෂිත් තරමක් සන්සුන් හඬින් විමසුවේ අත්තම්මාට බනින්නට ද නොහැකිවය.
"අහන්නේ කියන්නේ ඉතිං.. උඹ මේ එකපාරටම ගෑණු ගෙනාවම අපි හොයලා බලන්න එපෑ.. අනික මම හිතාගෙන හිටියේ රුමාශි කෙල්ලව උඹට කතා කරන්න කියලා.. කොහෙද ඉතිං උඹට තිබිලා තියෙන්නේ එසේ මෙසේ තදියමක් නෙවේනේ" අත්තම්මා රවමින් නෝක්කාඩු කියද්දී රක්ෂිත්ගේ දෙනෙත් ඉබේටම ගියේ හේමමාලිනි වෙතටයි. ඇය නම් ඔහුට හොඳ හැටි රවමින් සිටියාය.
“දැන් උක්කුං පුතාට මේ දැරිවි කොහෙන්ද හම්බුණා කිව්වේ?” අත්තම්මා මෙවර කතාව වෙනතකට ගෙන ගොස් එලෙස විමසුවේ රක්ෂිත්ගෙනි. ඔහු ඉක්මනින්ම කතා කරන්නට ගත්තේ පෙර සූදානම් කරගත් කතාවකට අනුවය. “මේ.. මේ හේමා.. රිපෝටර් කෙනෙක්නේ... මම එයාගේ ආටිකල් කියවනවා.. ඉතිං.. මම එයාගේ ෆෑන් කෙනෙක්.. ඉතිං.., මම එයාගේ ආටිකල්වලට කමෙන්ට් කළා. එහෙම එහෙම.. තමයි අපි හම්බුණේ” රක්ෂිත් පැවසුවේ හේමමාලිනි දෙසත් හොරැහින් බලමිනි. ඇයද හිස සලා එය අනුමත කළේ ඔහු පෙරදී පැවසූ කතාවට ඒ අයුරින්ම සහය වන්නට වූ නිසාවෙනි.
"අනේ මන්දා උඹලැයි කොමෙන්ට්... කිරිලි. ඔව්වැයින් කසාද බඳින්න ගෑණු හොයාගන්න පුළුවනි ද බං?" අත්තම්මා විමසුවේ තම කම්මුලකට අතක් ද තබාගෙන රක්ෂිත් දෙසත්, හේමමාලිනි දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. නමුත් හේමමාලිනිගෙන් නම් ඇයට ලැබුණේ තදබල රැවීමක් පමණකි.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
RomanceStart : [2024|06|01] Cover designed by @JINius_MooN