24

115 8 2
                                    

"ආනේ.. දුවේ.. මම දුව එනකම් හිටියේ. අද දුවට ලියුම් ගොඩාරියක් ආවනේ" අත්තම්මා එලෙස පැවසුවේ හේමමාලිනි නිවසට ගොඩවද්දීමය.

"මට?" හේමමාලිනි පුදුමයෙන් විමසුවාය.

"ඔව්නේ.. මෙන්න දුවේ" අත්තම්මා කාරුණික හඬින් පැවසුවෙන් හේමමාලිනි ඈ ඉදිරියෙන්ම අසුන්ගෙන තම ලියුම් පරීක්ෂා කරන්නට විය.

"ආ.... මේ මම ගෙවල් මාරු කළානේ... ඉතිං... පෝස්ට් ඔෆිස් එකේ හිරවෙලා තිබුණ ලෙටර්සුත් දැන් ඇවිත් තියෙන්නේ" හේමමාලිනි එලෙස පවසමින් පරීක්ෂා කරන්නට ගත්තේ තමාට ලැබී තිබුණු ලියුම් කියුම් ය.

"ආ... කට්ටිය මොනාද කරන්නේ?" එක්වරම එලෙස අසාගෙන නිවස තුළට පැමිණියේ රක්ෂිත් ය. ඔහුගේ යතුරුපැදියේ හඬක්වත් නෑසීම ගැන පුදුමයෙන් හේමමාලිනි ඔහු දෙස බැලුවත්, නැවත වතාවක් නිහඬවම තම කාර්‍යයට අවධානය ලබා දුන්නාය.

"අත්තම්මා.., රස ප්ලේන්ටියක්..." රක්ෂිත් අත්තම්මාට ඇසක් ඉඟිමරා සුරතල් වූයේ තම වශී කරවන සුළු සිනාවෙන් බිදක් හලමිනි.

"දුවට?"

"එයාටත් ගේන්න අත්තම්මා..." රක්ෂිත් ඇයටත් එක්කම උත්තර බැන්දේය.

"දැන් ද ආවේ?"

රක්ෂිත් සිනාවෙන්ම හේමමාලිනිගෙන් විමසුවේය. ඔහුගේ අද තිබුණේ ප්‍රියමනාප හැසිරීමක් ය. ඒ අද දින පෙර දින කීපයක පටන් උත්සාහ කළ රසකැවිල්ලක් සාර්ථක වූ නිසාවෙනි.

"හ්ම්ම්" හේමමාලිනි ඔහු දෙස වරක් බලා නැවත වතාවක් තම අවධානය ලබා දුන්නේ ලිපි ලේඛනවලටය.

එක්වරම හේමමාලිනිගේ දෙනෙත් විසල් වූයේ එහි තිබූ ආරාධනා පත්‍රයක් දැකීමෙනි.

"ගෝ...ඩ්!"

හේමමාලිනි එක්වරම උස් හඬින් පැවසුවෙන් රක්ෂිත් ද ඇයට අවධානය ලබාදුන්නේය.

"මේ... රක්ෂිත්.. අනේ..." ඒ දෙනෙත්වලට කඳුළු පිරී ගියේ එක්වරමයි. ඈ සිනාසෙමින්ම රක්ෂිත් දෙස බැලුවත්, ඒ දෙනෙත්වල තිබුණු කඳුළු වසන් කරන්නට ඇයට නොහැකි විය.

"හේමා..., හැමදේම හොඳින් නේද? ඇයි මේ?" රක්ෂිත් තමා අසුන්ගෙන සිටී අසුනින් නැගිට ඇය සිටී පුටු සෙටියෙහි ඇය අසලින්ම අසුන්ගත්තේය.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now