තම නිවාඩු දිනය නිසාවෙන් ද, නැතිනම් පෙර දින සිදුවූ සියල්ලගෙන්ම දැනුනු පීඩාව නිසාම ද මන්දා හේමමාලිනි නම් පිබිදුනු උදෑසන දහයත් පසුවයි. සිරුරම එහෙ මෙහෙ කරකවමින් සයනය පුරාම පෙරළුණු හේමමාලිනි තම දෙඅත් දෙපසට කර හිරි ඇරියේ සිහින් කෙඳිරියක් ද මුවින් නික්මවන ගමනුයි.
නමුත් එක්වරම විසල් කරගත් දෙනෙත් වලින්ම ඈ තිගැස්සුනේ පෙරදින රාත්රිය සිහිවීයි.
යාන්තමට මතක පරිදි තමා සයනයෙහි කොනකින් නිදාගත්තා ය. නමුත් දැන් තමා සිටින්නේ සයනය මධ්යයේ නොවේද? එසේනම් රක්ෂිත් කොහෙද?
හේමමාලිනි හෙමින් සීරුවේ නැගිට සයනයේම ඉඳගත්තාය. එවිටයි ඇය දුටුවේ තම ගෙල තෙක්ම පොරවා ඇති පොරෝනය. හොඳින්ම මතකය තමා පොරෝනයක් රැගෙන නොවේ සයනයට පැමිණියේ.
එසේ නම් ඒ ඔහුයි!
හේමමාලිනි සුසුමක් හෙළූවාය. තම කඩා හැලෙන කොන්ඩයත් එක්කොට හිස මුදුනට කර බැඳගන්නා ගමන්ම හේමමාලිනි අසුන්ගත්තේ කන්නාඩි මේසය ඉදිරිපිටයි. පැය ගණනාවක්ම නිදාගැනීමෙන් ඉදිමී මෙන්ම, කොට්ටයෙහි පාර හිටීමෙන් අවපැහැ ගැන්වුනු වත දෙස ඇය නිහඬවම බලා සිටියාය. නමුත් එක්වරම හේමමාලිනි සුරත ගියේ තම දෙතොල් කොනකටය. ඒ මත කහ පැහැයෙන් දක්නට ලැබුණු ආලේපනයකි.
යාන්තමට එය ගෙන නාසයට ළං කළ හේමමාලිනි එය නම් ඖෂධයක් බව වටහාගත්තාය.
එක්වරම ඇයගේ දෙනෙත්වලට හසුවූයේ කන්නාඩි මේසය මත තිබූ බෙහෙත් ටියුබය ය.
පෙරදින දෙව්දාරාගේ පහරින් තම යටි තොල යාන්තමට පැලුණු බව ඇයගේ මතකයේ ඇත. ඒ වේලාවේ එය අතිශයින්ම රිදුම් දුන් බව ද මතකය. නමුත් සිදුවූ දේ සියල්ලටම පසුව ඇයට ඒ පිළිබඳව වගක්වත් නොවීය. හේමමාලිනි තම ඇඟිල්ලක් ගෙන තුවාලයට ඇන බැලුවාය.
"ආව්...වා.. ස්ස්ස්..."
ඒ මුවින් එක්වරම පිටවූයේ හදිසි වේදනාව නිසාවෙනි. නැවත වතාවක් දෙනෙත් ගියේ බෙහෙත් ටියුබය වෙතටය.
"රක්ෂිත්...."
ඔහුගේ නම නිරායාසයෙන්ම ඒ මුවින් පිටවූයේ කුමන හේතුවකටදැයි ඇයවත් නොදත්තාය. නමුත් එක්වරම යමක් සිහිවූ නිසාවෙන් හේමමාලිනි තම උකුළු පරිගනකය ගෙන දිගෑරියාය. පෙරදින තමා වෛරයෙන් අකුරු කරන ලද දෙව්දාර් පිළිබඳව වූ ලියමන ඇයගේ උකුළු පරිගනකයේ තිරය මත දිගෑරුණි. ඉතිං තවමත් ඇය එය සම්පාදනය කර තිබුණේ නැතිය.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
RomanceStart : [2024|06|01] Cover designed by @JINius_MooN