"මේ දරුවගෙන් මව් දෙමව්පියන්ට බොහෝම අපලයි නෝනා මහත්තයෝ. පියාගේ සියලුම දේ නැති බංගස්තාන වෙලා යන්න නියම වෙලා තියනවා. මවට මරණීය අනතුරක් වෙන්න ඉඩකඩ තියනවා. සංසාරගත ණයකාරයෙක් පලිගන්න මේ පවුලට ඉපදිලා ඉන්නවා කියලා පෙන්නුම් කොරනවා." සුදු කොණ්ඩයක් තිබුන වයසක මනුස්සයෙක් වික්‍රමසිංහ වලව්වේ ඉස්තෝප්පුවේ පුටුවක වාඩි වෙලා කේන්දරයක් අතේ තියාගෙන වික්‍රමසිංහ දෙපල එක්ක බැරෑරුම් සාකච්ඡාවක් කරමින් හිටියා.
"අපි දැන් මොකද කරන්නේ ගුරුන්නාන්සේ?" වික්‍රමසිංහ වලව්වේ ගෘහමූලිකයා වෙච්ච වික්‍රමසිංහ හාමූ මහත්තයා වයසක කෙනාගෙන් ඇහුවා.
"මෙයාව ගෙදරින් යවන්න ඕනේ." ඒ වයසක මනුස්සයා බුලත්විටක් හපන ගමන් නිවීහැනහිල්ලෙ කිව්වා.
"මං කිව්වනේ කලින්ම මූ අපිව කන්න ආපු එකෙක් කියලා." ගැහැණු කෙනාගේ කටහඬේ වෛරයක් එක්කම නොරිස්සුමකුත් ගෑවිලා තිබුනා. "මූව හම්බෙන්න එනකොටම මං මැරෙන්න ගියා."
අවුරුදු 5 වයස මගේ මොලේට මේ දේවල් තේරුනේ නැතත් කතා කරන්නේ මං ගැන බව මට තේරුනා. ගෙදරින් යවන්න කියන එකේ තේරුම මොකද්ද කියලා මං කල්පනා කරත් මට ඒක හිතාගන්න බැරිවුනා. ඒ අතරේ ඉස්තෝප්පුවේ සාකච්ඡාව දිගටම කෙරීගෙන ගියා. එකපාරටම මට කැස්සක් ආවා. මං හැංඟිලා හිටපු තැනින් එලියට ඇවිත් දනිස් දෙකට අත් දෙක තියාගෙන කැහැලා කෙලින් වුනා.
දඩාස් !!!! මං වීසි වෙලා ගිහිල්ලා සෙටියේ කකුලේ වැදුනා.
"පේනවද මේ ප# බ## දැන්මම අනුන්ගේ කතාවලට හොට දාන්න පුරුදු වෙලා. මූ නම් මගේ එකෙක් නෙමේ. ග්‍රේටා.....ලෑස්ති කරපන් මූව සෝමරත්නලාගේ ගෙදර යවන්න. මේ වේ# බ##ව මෙහේ තියාගත්තොත් මගේ නම්බුවත් විනාස කරාවී." මගේ තාත්තා කියන කෙනා මට තව පයින් පාරක් ගහලා එතනින් යන්න ගියපු බව මට මතකයි. ඒ තමයි මගේ පුංචි කාලේ මට මතකෙට එන මුලින්ම දවස.
..........................................................................
"යොසේනයෝ.....අර ලිඳෙන් වතුර බාල්දියක් අරන් වරෙන් අයියට මූණ හෝදන්න. අයියා ඉස්කෝලෙ යන්නෝනේ" මාව ගෙනල්ලා දාපු ගෙදර අම්මා කෑගැහුවා.
YOU ARE READING
Drizzle
General Fictionරළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇ...