"හරිම සවුත්තුයි මේ පන්තියෙ හැසිරීම නම්."
අප දෙස රවා බලමින් මිමිණූ දේශපාලන විද්‍යා ගුරුතුමිය, පොත්පත් එකලාසයක් කරගනිමින් පන්තියෙන් පිටව ගියාය. චෝදනාව එල්ල කල නමුදු, ඒ සම්බන්ධයෙන් දඬුවමක් දෙන්නට හෝ අවවාද කරන්නට ඇය උත්සුක නොවූයේ, කලා පන්තිය 'හදන්න බැරි ජරාම පන්තිය' යනුවෙන් දිනා ඇති සම්මානය ඉවත් කල නොහැක්කක් බව ඈ දැන සිටි නිසාවෙනැයි මට සිතිණී. දේශයක් පාලනය කිරීමට දැනුම තිබූ නමුදු, කුඩා කලා පන්තියක් මෙල්ල කිරීමට ඈ සතුව වූ දැනුම අල්ප විය. ඒ ගැන වද වීමට ඇයට වුවමනාවක්ද තිබූ බවක් ද නොපෙනුණි.
'චස්!'
ගුරුතුමිය පිටව ගිය ඇසිල්ලකින්ම කලු ලෑල්ල ට පතිත වූයේ තෙත බරිත කොල ගුලියකි. අප පන්තිය වෙත පාසලේ ඇති බලාපොරොත්තු දියවී යන සේම, ඒ කොළ බෝලය සෙමින් සෙමින් රූටා බිමට පතිත විය.
"කවුද යකෝ ඒක ගැහුවෙ! තව ටිකක් කලින් ගැහුව නම් මිස්ගෙ මූණේ"
ඉදිරිපෙල අසුනක වාඩිවී සිටි කොල්ලෙකු, පසුපස බලමින් කීවේ විමතිය මිශ්‍ර වූ උද්‍යෝගයකිනි. ඔහු ගේ ඉරියව්ව අනුකරණය කරමින් මෙන් ඉදිරිපස අසුන් වල හුන් තවත් කිහිප දෙනෙකු හිස් හරවා බැලුවෝය.
"මම ගැහුවෙ, ඇයි මොකෝ?!"
පන්තිය කොණකින් ආ දඟකාර ගැහැණු හඬ දෙස ට සියල්ලන්ගේම ඇස් යොමු විය.
අප්සරා.
මම නොමනාපයෙන් යලිත් මගේ සටහන් පොත දෙසට ඇස් යොමු කරගතිමි.
අප්සරා ව නුරුස්සන්නට ඈ පෞද්ගලිකව මට කිසිදු හිරිහැරයක් කර නොමැත. ඇරත් ඇය හා මා කතා කර ඇති අවස්ථා ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු යැයි මට හැඟේ. ඈ පාසලේ සුරූපී ඳඟකාරියයි; අතින් අතට මාරු වන, ඒ ගැන තොල් උරුක් කරමින් පුරසාරම් දොඩවන දඟකාරියයි.
අනෙක් අතින් මම, සෙමින් කතා කරන, කණ්ණාඩි දෙකක් පැලඳි, පොතේ පිලිවෙලටම නිල ඇඳුම පවත්වාගත්, පාසලේ 'ආදර්ශමත්' සිසුවෙක් විය. අප්සරා සහ මා අතර ඇති පරතරය අහසට පොලොව වූවා මෙන්ම ඇය හා මා 'වෙන්' රූප සටහනකට දැමුවහොත්, පොදුවේ ඇති සංඛ්‍යාත ගණන ද මට ඇඟිලි වලින් ගනින්න ට පුලුවන් වනු ඇත. මොහොතකට ඒ ගැන සිතූ මම, මනසින් 'අප්සරා' සහ 'මම' යන කුලක දෙක වෙන් රූප සටහනකට දැමීමි.
YOU ARE READING
මිරිඟු සිත්තම - Sinhala BL
Romanceසමලිංගිකත්වය අරුමයක් වූ රටක, පාසලේදී තමාගේ ආදරය සොයා යන පිරිමි ලමයෙකූගේ කතාවකි. ලිංගික චර්යා ආශ්රිත සිදුවීම් ඇතුලත් බැවින් 18+ රසිකයන් පමනක් සම්බන්ධ වන ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමි. A story about a boy who is seeking for his identity and love in a Sr...