23

208 36 10
                                    

"ටාං! ටාං! ටාං!"

පාසල නිමවන සීනු නාදය සමගම, පන්තිය පුරා පැතිරී ගියේ සිසුන් ප්‍රීතියෙන් නැගූ ඝෝෂාවකි. හැම දෙනාම නොයිවසිල්ලෙන් බලා සිටි අප පාසල් ජීවිතයේ අවසාන වාර්ෂික චාරිකාව යෙදී ඇත්තේ හෙට දිනයේ ය.

පාසල් ජීවිතයේ ඕනෑම අයෙකුට ලැබිය හැක්කේ ආසන්න වශයෙන් චාරිකා දහයක් පමණ ය. පන්ති කාමරයෙන් පිට, මිතුරන් හා හැකි පමණින් විනෝද වන්නට ලැබෙන ඒ අගනා අවස්ථාවේ වටිනාකම, ඕනෑම ළමයෙකු දනී. ඊටත් එහා, මිතුරන් හා රාත්‍රියක් ගත කරන්නට ලැබීම ඇතැම්විට මුලු ජීවිත කාලයටම ලැබෙන එකම අවස්ථාව වන්නට ද පුලුවන. 'ඉස්කෝලෙන් අයින් උනාම අපි සෙට් එක චාරිකාවක් යමු' යැයි ඕනෑම අයෙකු කීව ද, එය කිසිදාකවත් සිදුවන දෙයක් දෝ යන්න සැක සහිත ය.

අප යන්නට සැරසෙන චාරිකාව ගැන මගේ සිතෙහි පිරී තිබුණේ වෙනත්ම උද්‍යෝගයකි.

තිවංක.

ප්‍රථම වරට, මම තිවංක හා පාසලෙන් පිට ගමනක් යන්නට යන ප්‍රථම වතාව මෙය ය. ඔහු හා සමඟ නොවූව ද, තිවංක හා එකම ගොඩනැඟිල්ලක නින්දට යාම ද මා තුළ ඇති කලේ අමුතුම හැඟීමකි. 

සිසුන් දෙදෙනා බැඟින් කාමරයකට දමනා බැව් කීව ද, තිවංක හා මා එක කාමරයකට වැටීම කොහෙත්ම සිදු නොවන්නකි. එක් අතෙකින් දුලංජන උද්‍යෝගයෙන් සිටින්නේ ඔහුගේ හොඳම මිතුරා වන මා හා විනෝදජනක, කතාවෙන් බර රාත්‍රියක් ගත කරන්නට ය. තිවංක ට ද ඔහු ලඟින් ආශ්‍රය කරන, මදාවි පෙනුමින් යුතු මිතුරන් ගොන්නක්ම සිටියි. එබැවින් කිසිදා එකිනෙකා හා ආශ්‍රය කොට නැති, ඔහු හා මා අහසින් කඩා වැටුනා සේ එක කාමරයකට යන්නට කතිකා කරගැනීම අපභ්‍රංශ විහිලුවකි.

හදිසියේම ඔහු මට වැසිකිළියේදී පහර දුන් ආකාරය ද මගේ සිහියට නැඟුණි. ඔහු මට කැමැති නැත. එසේනම් මම මෙලෙසින් පුහු බලාපොරොත්තු, ආශාවන් පොදි බැඳගැනීමේ ඵලය කුමක් ද?

"අරවින්ද......"

තාලයකට මගේ නම ගයමින්, මගේ පසුපසින් විත් කරේ එල්ලුණේ දනූෂි ය.

පොත් බෑගය අස් කරමින් මට යමක් කියන්නට සැරසුණු දුලංජන, දනූෂි දුටු විගස ඒ අදහස පසෙක ලා, මට ඉඟියක් මරා කපටි සිනහවක් පෑවේය.

මිරිඟු සිත්තම - Sinhala BLWo Geschichten leben. Entdecke jetzt