12

239 44 6
                                    

මා ගස යටට යනවිට, සංජුල සිටියේ ගල් බංකුවක් මත වාඩිවී මට පිටුපස හරවාගෙනය. ඈතින් පෙනෙනා කඳුවැටියක් දෙස ඔහුගේ හිස යොමුවී තිබිණි.

"සංජුල."

මගේ හඬින් හිස හරවා බැලූ ඔහු මද සිනහවක් පැවේය.

"මොකද එක පාරට කඩාගෙන බිඳගෙන මෙතනට දුවන් ආවෙ?" මම ඇසීමි.

"...අහ්.." ඔහු තතනන්නට විය. "ඔයාගෙ... යාලුවා..."

"දනූෂි?"

"ඔව්...මට... මට ඔයාල දෙන්න අතරට මැදිවෙලා ඉන්න බෑනෙ."

ඔහු මගේ දෙනෙත් මගහරිමින් අහක බලාගත්තේය. මට කට කොණකට සිනහවක් නැඟිණි. කළු වළාවක් පහව ගොස් හිරු රැස් දිලෙන්නාක් මෙන්, සිදුවී ඇති දෙය මට කෙමෙන් පැහැදිලි වන්නට විය. දනූෂි ඇඹරෙමින් මා හා කල කතාබහ, සංජුලගේ ඊර්ශ්‍යාවට හේතු වන්නට ඇත.  මා හා ඇය අතර එවන් කිසිවක් නැතත්, ඒ ගැන උරණ වන්නට සංජුල හා මා අතර ද බැඳීමක් නැත. මම ඔහුගේ පෙම්වතා නොවෙමි. මා කැමති කා සමඟ හෝ කුලුපග වන්නට මට අයිතියක් ඇත. ඔහුගේ බොලඳකම ගැන මම සිතින් සිනහසෙන්නට වීමි.

"...මොකෝ, දනූෂි ගැන එච්චර පැහැදීමක් නැත්ද?" 

මම සිනහව සිර කරගනිමින් ඇසීමි.

"න්,නෑ... එහෙම මොකුත් නෙවෙයි." මා දෙස නොබලාම ඔහු මුමුණයි. "ඒ ගෑනු ළමය නම් ඔයාට කැමතියි වගේ හැබැයි."

මම මදක් සිනහසුණෙමි.

"ඉතින් ඔයාට ඉරිසියයි ද?"

"ම...මම?...න්...නැහ්." ඔහු අපහසුවෙන් තතනන්නට විය.

මම සිනහසෙමින් ඔහු අසලින් වාඩි වුණෙමි. අතෙහි වූ සීතල කෝපි වීදුරුව අත ගාමින් ඔහු යළිත් හඬ අවදි කලේය. 

"අරවින්ද, අපි ටිකක් කතා කරමු අද? මට කතා කරන්න දෙයක් තියෙනව."

මගේ සිනහව එකවරම අතුරුදහන් වූයේ මටත් නොදැනුවත්වමය ඔහු කියන්නට යන්නේ ඔහු මා හට කැමති බව දෝ යන සිතිවිල්ල මගේ සිතේ සක්මන් කරන්නට විය. කිසිදාක කිසිවෙකු මගෙන් යාලු වෙන්නට අසා නැත. ඇරත් තිවංක හැරුණුකොට වෙනකෙකු හා ආදරයෙන් බැඳෙන්නට මගේ සිත ඉඩ දෙන්නේ ද නැත.

මිරිඟු සිත්තම - Sinhala BLWhere stories live. Discover now