26

267 41 29
                                    

තිවංක අප වෙත දිගු කරගෙන සිටි බන්දේසියෙන් මාලු පාන් ගෙඩියක් අතට ගන්නා විට, මගේ අකීකරු දෑස්, ඔහුගේ සරාගී දෙනෙත් කරා හඇදී ගියේ නිමේශයකට පමණි. අප මේසයේ සිටි අනෙක් අය වෙත පෑ සිනහව එලෙසින්ම රඳවාගත් ඔහු ද, එවර මගේ දෑස දෙස බැලුවේය.

මට එකණෙහිම සිහි වූයේ මීට සති කිහිපයකට පෙර, අයියා සමඟ බැංකුවට ගිය අවස්ථවේදි මා හා තිවංක අතර දෙනෙතින් වූ කතාබහ ය. ඉන්පසු ඔහු යමක් කියන්නට වෙර දැරූ අන්දමත්, ඉන් පසු ඔහු මගේ දෑස මඟ හැරි අන්දමත් මට යළි යළිත් මැවී පෙනෙන්නට විය.

මගේ දෙනෙත් දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහුගේ අවධානය බිඳී ගියේ, දනූෂි යළිත් කතා කල නිසාවෙනි.

"ආ තිවංක, තාත්තා වගේම සමාජ සේවයට බැහැල නේද අද?"

තිවංක ඒ කියමනට සිනහසුණේය.

අහෝ දෙවියනි! මේ චාරිකාව, ඔබ මට මා ගැන සිතා, මගේ සතුට සොයා යන්නට දුන් වරමක් යැයි මා සිතූවද, ඔබ මගේ සිතිවිලි පරික්ශා කරන්නට මෙන් තිවංක ව මෙතැනට ගෙනත් දැමුවේ මන්ද?

සිනහසෙන සැම විටකම, ඔහුගේ කඩවසම් බව දෙගුණ තෙගුණ වන බව මා මුල සිටම දැන සිටි කරුණකි. මේ වසර කීපයටම, මා ඔහුව ඉතා ලඟින් දැක ඇත්තේ කීප වරක් පමණි. දැන් මගේ උරහිස අසලින්ම සිටගෙන සිටි ඔහුගේ සියලුම ඉරියව්, සියුම් හැඩතල මට සිනමා තිරයකින් මෙන් පැහැදිලිව පෙනේ.

"ඔව් නේද?, බලපන් දනූෂි පොඩ්ඩක්- ඔය වටේ පිටේ කැමරා හෙම ගහල තියෙනවද කියල!?"

මාලු පාන් ගෙඩියක් අතට ගනිමින් තවත් සිසුවියක් තිවංක ට සරදම් කළාය.

"හා, හා ඔය ළමයට ඉන්න දියල්ල" කොල්ලෙකු පැන තවත් මාලු පාන් එකක් උදුරා ගත්තේ ය. "තිවංක දේශපාලනේට යන්නේ නෑලු."

එය මට ද ඇතිකළේ කුතුහලයකි.

"ංආ, ඒ ඇයි ඒ?" දනූෂි විමසුවාය.

"මට-..."

තිවංක යළිත් යමක් කියන්නට තැත් කළද, ඔහුට බාධා කරමින්, පෙර කතා කල සිසුවිය යළිත් මොරගෑවාය.

"හා හා, අපිට ඒවයින් වැඩක් නෑ. තිවංක එගොඩහේවා කියන නම කවදහරි අපේ පාර්ලිමේන්තුවෙ තියෙන්ඩ ඕනෙ- ඔන්න මම නම් අනිවාර්‍යෙන් මගෙ ඡන්දෙ දෙනව!"

මිරිඟු සිත්තම - Sinhala BLDonde viven las historias. Descúbrelo ahora